ධාරානිපාත වර්ෂාව මධ්‍යයේ බීමතින් පැදවූ ත්‍රීරෝද රථයක් මාර්ගයේ ගමන් ගත් මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු එම ස්ථානයේම මියගොස් තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ හපුතලේ බ්රෑටූඩ් මැද කොටස පදිංචි පොන්නයියා අශෝක් කුමාර (54) සහ හික්කඩුව නාකන්ද පදිංචි පෙන්ත තන්ත්‍රිගේ සුජීව ඉන්දික (42) විවාහකයින් දෙදෙනෙකු බව පොලිසිය කියයි.
කොට්ටාව විද්‍යාල හන්දිය ප්‍රදේශයේ ඉදිකිරීම් වැඩබිමක සේවයේ නිරත මෙසේ මියගිය පුද්ගලයෙකුගේ අතෙහි සිදුව තිබූ තුවාලයකට ප්‍රතිකාර ලබා යලි වැඩබිමට යමින් සිටියදී ඔවුන් ගමන් ගත් ත්‍රී රෝද රථය කොට්ටාව රුක්මල්ගම මෙන්ඩිස් හන්දියේදී මාර්ගයෙන් මැද පෙරළී ගොස් කොට්ටාව දෙස සිට රුක්මල්ගම දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී 02 දා සවස අනතුර සිදුව තිබු බව පොලිසිය පවසයි.
අනතුරින් ත්‍රී රෝද රථයේ පිටුපස ගමන් ගත් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තිබූ අතර තවත් දෙදෙනෙකු හා මෝටර් රථයේ රියදුරු බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
අනතුර සිදුවන අවස්ථාවේදී අධික වර්ෂාවක් පැවැති අතර එම අවස්ථාවේදී ත්‍රීරෝද රථය අධික වේගයෙන් ධාවනය කරන්නට ඇති බවත් එම අවස්ථාවේදී එහි රියැදුරු මත්පැන් පානය කර සිටින්නට ඇති බවට පොලිසිය සැක කරයි.
බරපතල තුවාල ලබා රෝහල්ගත කළ තිදෙනාගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මියගිය පුද්ගලයින් දෙදෙනාගේ මෘත දේහයන් පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා විසින් සිදුකිරීමට නියමිතව තිබුණි.
මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න/බිමල් ශ්‍යාමන්