පාස්කු ප්‍රහාරය ගැන කතා කරමින් තමා එක්තරා දේශපාලන පක්ෂයකට ඡන්දය දමන ලෙස ඉල්ලීම් කළේ යැයි පසුගියදා පාර්ලිමේන්තු සභාගර්භය තුළ ඇතැම් මන්ත්‍රීවරුන් විවිධාකාරයේ චෝදනා නඟමින් සිදු කළ ප්‍රකාශ ගැන කණගාටු වන බව කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මන්ත්‍රීවරුන්ගේ එම ප්‍රකාශයන් පිළිබඳ ප්‍රතිචාර දක්වමින් කාදිනල් හිමිපානන් මෙම නිවේදනය නිකුත් කර ඇත.
"නොබෝදා පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී ඇතැම් මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් පාස්කු ප්‍රහාරය ගැන කතා කරමින් මා එක්තරා දේශපාලන පක්ෂයකට ඡන්දය දමන ලෙස ඉල්ලීමක් කළේ යැයි ප්‍රකාශ කරන්නට යෙදී තිබෙන බව මාධ්‍ය හරහා දැනගතිමි.
මෙම නිගමනය සහමුළුමනින්ම ප්රලාපයක් බව ප්‍රකාශ කරන අතර මා කිසි දිනෙක කිසිදු පක්ෂයකට තමන්ගේ ඡන්දය පාවිච්චි කරන ලෙස කිසිවෙකුගෙන් ඉල්ලා නැති බව සඳහන් කරනු කැමැත්තෙමි.
මා පාස්කු ප්‍රහාරය ගැන කතා කරද්දි සඳහ් කර ඇති එකම දෙයනම් මානව හිමිකම් කඩකර ඇති හෝ පාස්කු ප්‍රහාරයට යුක්තිය සහ සාධාරණත්වය ඉෂ්ඨ කරන්නට පියවර නොගන්නා පක්ෂවලට ඡන්දය නොදෙන්න යන්නයි.
එලෙසම, මෙතෙක් අප වෙත පාස්කු ප්‍රහාරයේ සත්‍යය පිළිබඳ විමර්ශනය කරන බවට සහකික වී ඒ පිළිබඳ ඔවුන්ගේ වැඩපිළිවෙළ ඉදිරිපත් කර ඇති පක්ෂ ලෙස සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය හඳුන්වා සිටියෙමි. ඒ අයුරින් වෙනත් දේශපාලන පක්ෂවලටද එසේ කරන්නට ඉඩ කඩ ඇති බව දන්වා සිටිමි.
අපි මේ සැමගෙන් එදා සිට ඉල්ලා සිටියේත්, අද ඉල්ලා සිටින්නේත් පාස්කු ප්‍රහාරය පිළිබඳ සාධාරණ විනිවිද පෙනෙන විමර්ශනයක් සිදු කරන ලෙසයි. එවැනි විසඳුමක් ලබාදෙන ඕනෑම පක්ෂයකට තමන්ට කැමති අයුරින් ඡන්දය ප්‍රකාශ කිරීමට මේ රටේ සියලුම පුරවැසියන් දිරිමත් කරන්නට කැමැත්තෙමි.
එලෙසම, පාර්ලිමේන්තු ඝර්භය තුළ පදනම් විරහිත ලෙස මට විවිධාකාරයේ චෝදනා නඟමින් ඇතැම් මන්ත්‍රීවරුන් හැසිරුණු ආකාරය කණගාටුදායක බව ප්‍රකාශ කරන්නටද කැමැත්තෙමි. වගකීමෙන් තොරව තමන්ට හිතෙන හිතෙන ආකාරයට මිනිසුන්ට විරුද්ධව චෝදනා කිරීම සත්‍යයට විරුද්ධව කරන පාපයක් බව ඔවුන් සිහිතබා ගනියි නම් එය වඩාත් සුබදායකය."