ශ්‍රි ලංකාව නොබැඳි ජාතීන්ට අයත් රටක් වන බැවින් වෙනත් රටවල දේශපාලන කටයුතුවලට බලපෑම් කළ නොහැකි බවත්, පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණ කිරීමෙන් ඊශ්‍රායල් යුද්ධය නතර කිරීමට නොහැකි බවත්, කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු විපක්ෂයේ ඇතැම් දේශපාලන කණ්ඩායම් මුස්ලිම් ජනතාවගේ ජන්ද ලබාගැනීමේ අරමුණෙන්, ශ්‍රි ලංකාවේ තරුණයින්ගේ අනාගතය බිල්ලට ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කලේය. අමාත්‍යවරයා මේ අදහස් පළකළේ අද දින (5/15) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පැවැති වැඩසටහනකට එක්වෙමිනි.
“ජේ.වී.පි එක මාතර තිබුණ රැලියේදී තරුණයෝ රට රැකියාවලට නතර කරන්න කිව්වා. ඊශ්‍රායලයේ රැකියා සඳහා යවන්න එපා කිව්වා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදි කිව්වා ඊශ්‍රායලයට ශ්‍රමිකයෝ යවන්න එපා, ඊශ්‍රායල් තානාපති සබඳතා නවත්තන්න කියලා. රාවුෆ් හකීම් කියනවා අපි ශ්‍රමිකයෝ යවන්නේ පලස්තීනේ අය වැඩ කරපු තැන්වල වැඩකරන්න කියලා. අපි නොබැඳි රටක්. අපි වෙනත් රටවල දේශපාලන ප්‍රශ්නවලට අතදාන එක වැරදියි.
රටවල් දෙකම අපිට හිතවත් රටවල් දෙකක්. අපි මානුෂිය වශයෙන් පලස්තීනයට උදව් කරනවා. ගාසා තීරයේ ළමයින්ට ආධාර දෙන්න වෙනම අරමුදලක් ඇති කලා. ජාත්‍යන්තර වශයෙන් කතා කරන්න ඕනි තැන්වල අපි කතා කරලා තියෙනවා. එහෙම නැතුව මේ තැන් තැන්වල උද්ඝෝෂණය කරාට යුද්ධයක් නතර කරන්නේ නැ. අපි අවුරුදු 30ක් තිබුණ යුද්ධයෙන් බැට කාපු රටක් අපි යුද්ධයට විරුද්ධයි.
නමුත් දැන් මේ කරන්නේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද ටික ගන්න. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් මේ දේවල් කරන්නේ. පස්ස කහ ගන්න නිය නැති අපි වෙනත් රටවල් දෙකක යුද්ධයකට මැදිහත් වෙලා මොනවා කරන්නද? මේ හිගන දේශපාලඥයින් කරන වැඩ. ඊශ්‍රායල් රස්සා නැති කරන්න මේ උත්සහ කරන්නේ. අපි සැලසුම් කරලා තියෙනවා 40000 ට අධික පිරිසක් ඊශ්‍රායලයේ වැඩි වැටුප් සහිත රැකියාවලට යවන්න.
එහෙම ගියාම සාර්ථක ව්‍යාපාරිකයින් විදිහට අපේ ගම්වල තරුණයින්ට ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. සජිත් ප්‍රේමදාස කැමතියි උස නම් සිකුරුටි මිටි නම් කම්කරු කියලා තරුණයින් එයාගේ පස්සෙන් රස්සාවල් ඉල්ලගෙන එනවා නම්. එයා හරි කැමතියි බෙදන්න. මේ මිනිස්සු කිසිදෙයක් කරගන්න බැරි තත්වෙට පත්වෙනවා නම් එයා හරි කැමතියි. එතකොට බෙදලා ඡන්ද ගන්න පුළුවන් නිසා. ඇත්තටම මම හරි කණගාටු වෙනවා සජිත් ප්‍රේමදාස ළග හිටපු එක ගැන. තරුණ අනාගතය පාවාදෙන එක පිලිකුල් සහගතයි.
මේ හදන්නේ ප්‍රශ්න වවාගෙන කන්න. විරැකියාව, මුදල් නැතිකමට හොඳ විසඳුමක් මේ විදේශ රැකියාවලින් ලැබෙනවා. අපේ නිළධාරීන් විශාල වෙහෙසක් ගන්නවා මේ රටවලට ශ්‍රමිකයින් කඩිනමින් යවන්න. කවුරු මොන දේ කිවුවත් අපි ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යවන එක කීයටවත් නතර කරන්නේ නෑ.”