කරාපිටිය රෝහලට මෙම වසරේ අත්‍යාවශ්‍ය උපකරණ සදහා රුපියල් බිලියනයක ප්‍රතිපාදන වෙන් කිරීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කරන ලද්දේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දැනට පවතින ගැටළු නිරාකරණය සහ රෝගී ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා ඉදිරියේ දී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව ඊයේ (10) කරාපිටිය ශික්ෂණ රෝහලේ ශ්‍රවණාගාරයේ දී පැවැති විශේෂ සාකච්ඡාවක් සදහා එක්වෙමිනි.
රෝහලේ දැනට සිදුකරනු ලබන රෝගී ප්‍රතිකාර සේවාවන්වල වත්මන් තත්ත්වය, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති, ආරම්භ කරනු ලැබූ නව ව්‍යාපෘති, ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු සහ නඩත්තු කටයුතු පිළිබදව රෝහල් අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්.ඩී.යූ.එම් රංග මහතා මෙහිදී පැහැදිලි කිරීම් සිදු කරන ලදි. මෙහිදී විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩල ද සිය වෘත්තීය ගැටළු සහ මානව සම්පතෙහි අවශ්‍යතාවය ද පෙන්වා දෙන ලදි.
මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙම වසරේ කරාපිටිය ශික්ෂණ රෝහලට අවශ්‍ය අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් බිලියනයක මුදලක් වෙන් කිරිමට කටයුතු කරන බවයි. සාමාන්‍ය උපකරණ මිලදී ගැනීම සදහා රුපියල් මිලියන 20 ක මුදලක් ලබාදීමට ද කටයුතු කරන බවත්, අත්‍යාවශ්‍ය තවත් උපකරණ ලබාදීමට ටෙන්ඩර් කටයුතු අරම්භ කර ඇති බව ද පැවැසීය.
ඒ අනුව මේ වසරේ කරාපිටිය රෝහලට CT Scan යන්ත්‍ර 02 ක්, Ultrasound Scanner Machine යන්ත්‍ර 02 ක් ලැබීමට නියමිත බවත්, පෙබරවාරි මස එහි පළමු CT Scan යන්ත්‍රයක් ලබාදීමට පියවර ගන්නා බව ද පැවැසිය.
තමන් මීට පෙර අවස්ථාවකදී රෝහල වෙත පැමිණි බවත්, එහිදී පැවැති සමහරක් ගැටළුවලට කඩිනම් විසදුම් ලබාදීමට ද කටයුතු කළ බවයි. එහිදී ප්‍රධාන ගොඩනැගිල්ලේ ප්‍රතිසංස්කරණ කටයුතු, ප්‍රධාන පිවිසුම, කොරිඩෝ නවීකරණය, තීන්ත ආලේප කටයුතු සහ පවතින මුලික ගැටළු නිරාකරණය සදහා මිලියන 40 ක ප්‍රතිපාදන ලබාදී ඇති බවද පැවැසීය.
හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ක්‍රියාත්මක රෝගීන්ට අහාර ලබාදීමේ සාර්ථක වැඩසටහන කරාපිටිය රෝහලේ ද ක්‍රියාත්මක කිරිමට කටයුතු සම්පාදනය කරන ලෙස දැනුම් දී ඇති බව ද පැවැසීය.
ගාල්ල කරාපිටියේ පිහිටි කරාපිටිය ශික්ෂණ රෝහල දකුණු පළාතේ විශාලතම තෘතියික සත්කාර මධ්‍යස්ථානය වේ. එය 1982 දී ආරම්භ කරන ලද අතර රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රධාන පුහුණු මධ්‍යස්ථානය වේ. රෝහලේ ඇඳන් ධාරිතාවය 2050 ක් වන අතර, ඒකක 69 කින් යුක්තය.