අධිවේගී මාර්ගයේ කොට්ටාව අතුරුගිරිය අතර කිලෝමීටර් 3 කණුව අසලදී අද (28) දා අලුයම දෙකයි තිහට පමණ නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපසින් පැමිණි කන්ටේනර් රථයක් ගැටී එහි ගමන් ගත් රියදුරු සහ කාන්තාවක් බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට යාමේදී කාන්තාව මියගොස් ඇතැයි අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශය පවසයි
මෙසේ මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය සෙවනගල කොවුල්ආර ප්‍රදේශයේ පදිංචි (39) හැවිරිදි කාන්තාවකි.
ඇය ඇඹිලිපිටියට යාම සඳහා බස් රථයක් පැමිණෙන තෙක් කඩුවෙල අධිවේගී පිවිසුම අසල රැඳී සිටියදී ඇඹිලිපිටිය දෙසට ගමන් ගන්නා මෙම කන්ටේනර රථය පැමිණ කාන්තාව එම රථයට නංවාගෙන කඩුවෙල සිට ඇඹිලිපිටිය දෙසට යමින් සිටියදී කොට්ටාව අතුරුගිරිය අතර කිලෝමීටර් 03 කනුව අසල ටයරයක ඇති වූ කාර්මික දෝෂයක් යථා තත්ත්වයට පත් කරමින් තිබූ තවත් කන්ටේනර් රථයක පිටුපස ගැටී මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් කන්ටේනර් රථයේ ඉදිරිපස කොටස සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර එහි ගමන් ගත් කාන්තාව මෙසේ මරණයට පත්වී රියැදුරු බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර රියැදුරුගේ දෙපාවලට බරපතළ හානි සිදු ඇති බව පැවසේ.
මෙම කන්ටේනර් රථය පොහොර තොගයක් පටවාගෙන කොළඹ සිට ඇඹිලිපිටියට යමින් තිබූ කන්ටේනර් රථයක් වන අතර අනෙත් කන්ටේනර් රථය අතුරුගිරියේ සිට ගාල්ල දෙසට ධාවනය කරමින් තිබූ එකක් වන අතර එහි ටයරයක ඇති වූ කාර්මික දෝෂයක් යථා තත්ත්වයට පත් කිරීමට මෙසේ නවතා තිබී ඇතැයි පැවසේ .
ඒ අනුව අනතුරට පත් කන්ටේනර් රථ දෙක පොලිස් බාරයට ගෙන ඇති අතර රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
අධිවේගී මාර්ගයේ අඳුර සහිත ස්ථානයක කන්ටේනර් රථය නවතා තිබීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවත් ඒ සදහා අධිවේගී මාර්ගය භාවිතා කරන රියදුරන් පිළිපැදිය යුතු නිසි ක්‍රමවේදයන් අනුගමනය කර නොමැති බවට මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇති බවද බවද පොලිසිය කියයි .
මියගිය කාන්තාවගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු චින්තක උදයකුමාර මහතා විසින් හෝමාගම හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී සිදුකිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශයේ වැඩබලන අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරාද මහින්දසිරි මහතාගේ අධීක්ෂණය යටතේ, සහකාර පොලිස් අධිකාරී වසන්ත කෝරළගේ මහතාගේ නියෝග මත අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසේකර මහතාගේ උපදෙස් මත , අතුරුගිරිය අධිවේගී පොලිස් මුරපොළ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගම්ලත් මහතාගේ මෙහෙයවීමෙන් ඉදිරි පරීක්ෂණ පවත්වති.


