රුහුණු මහා කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා හා තවත් කපු මහතාගේ කපු ධුරය අත්හිටුවීමට රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා කටයුතු කර තිබේ.
එම දේවාලයට බැතිමතකු ජූජා කළ පවුම් 38 ක් බර රත්තරන් තැටියක් වංචනික ආකාරයෙන් රැගෙන යාම සම්බන්ධයෙන් වන චෝදනාවලට අදාළව මෙසේ කපුධුර අත්හිටුවා ඇත්තේ එහි ප්‍රධාන කපු මහත වන සොමිපාල ටී රත්නායක මහතාගෙත් තවත් කපු මහතෙක් වන සමන් ප්‍රියන්ත යන අයගේත්ය.
විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට යටත්ව ඊයේ (18) සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන්ගේ කපුධුර අත්හිටුවා ඇති අතර ඒ අනුව ඔවුන්ට ඔවුන්ට රුහුණු මහා කතරගම දේවාල මාලිගයට ඇතුළු වීම, එහි රාජකාරි කටයුතු සම්බන්ධයෙන් සෘජු සහ/හෝ වක්‍රාකාරයෙන් සහ/හෝ අන්‍යාකාරයකින් සිදුකරලීම, ඊට සම්බන්ධ වීම තහනම් බවත් බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා ලිඛිතව දැනුම් දී තිබේ.
රත්තරන් තැටිය පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද පරීක්ෂණයකින් පසුව ඔවුන් දෙදෙන අත්අඩංගුවට ගෙන අධිකරයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත නිදහස්ව තිබේ.
චෝදනාව එල්ලවී තිබෙන කපු මහතුන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් කේ. පී. සිරිබද්දන මහතා රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයාට පසුගිය වසරේ දෙසැම්බර් මස 29 වැනිදා ලිඛිතව දැනුම් දී තිබුණි.