රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුවා ඇතුළු අනෙකුත් කපුවන් දේවාලයට ලැබෙන රත්රන් සහ මුදල් නිවෙස්වලට රැගෙන යන බවට රටපුරා ප්‍රචාරය වීමත් සමග බැතිමතුන් පූජාවට්ටිවලට දහස් ගණනින් තැබූ මුදල් 50%කින් පමණ අඩු වී ඇතැයි කතරගම දේවාලයේ කාර්යාල මණ්ඩලය පවසයි.
ඒ වෙනුවට කතරගම මහා දේවාලයේ ප්‍රධාන කාර්යාලයේ ඇති මහරගම පිළිකා රෝහලේ සංවර්ධන අරමුදලට මුදල් පරිත්‍යාග කිරීමට බැතිමතුන් පෙළඹී ඇති බව ද ඔවුන් පැවසූහ.
රන් තැටිය අතුරුදන් වීම සම්බන්ධව ප්‍රධාන කපුවා හා ගබඩාරාල වන චූටි කපුවා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දුන් නියෝගය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග බැතිමතුන් විසින් පූජාවට්ටිවලට රුපියල් දහස් ගණනින් මුදල් නෝට්ටු ලබාදීම නතර කර තිබෙන බව කතරගම දේවාලයේ කාර්ය මණ්ඩලය පවසයි.
කතරගම දේවාලයට ගතවූ මාස 11 තුළ පඬුරු පෙට්ටියට බැතිමතුන් දමන කුඩා පඬුරු මුදල්වලින් පමණක් රුපියල් ලක්ෂ 3450ක් එකතුවී තිබෙන අතර,. මේ වනතෙක් දේවාලයේ කපුවන් වෙත පූජාවට්ටි වෙත තබා පඬුරු ලෙස දෙන මුදල් මීට වඩා හතර පස් ගුණයකින් වැඩි බව ද කාර්ය මණ්ඩලය පවසන කරුණකි.
මහා දේවාලයට ගොස් කපුවන් හමුවේ යාතිකා කිරීම වෙනුවට බැතිමතුන් කිරිවෙහෙර පසුපස දේවාලයට හා අභිනවාරාමයේ දේවාලයට යාමටද පටන්ගෙන ඇති බවද ඔවුන් පවසයි.
කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර ටී. සොමිපාල සති දෙකක් තිස්සේ අතුරුදන් වීම සම්බන්ධව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත මෙම සිකුරාදා (22 වැනිදා) පැමිණි ප්‍රධාන කපුවාගේ මුණුපුරෙක් විසින් පැමිණිල්ලක් කර තිබේ.
ඔහුව සොයා ගැනීමට නොහැකි වීම නිසා දේවාලයේ කටයුතු අඩපණ වන බවත් එහි පෞරාණික දේවල්වලට ආරක්ෂාවක් නොවන බවත් පෙන්වා දෙමින් පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර මෙම ගැටලුව නිසා කතරගම දේවාලය යම්තාක් අඩපණ වී ඇති බව කතරගම දේවාලයේ කාර්ය මණ්ඩලය කියයි.
බෙලිඅත්ත - කවීෂා ගරුසිංහ