යුක්තිය මෙහෙයුම යටතේ කඩුවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය භාරයේ තිබූ වැලිවිට සුද්දා නමැත්තාට අයත් කෝටි ගණනක් වටිනා බස් රථ 05 , සුඛෝපභෝගී මෝටර් රථයක් හා යතුරු පැදියක් යළි ලියාපදිංචි හිමිකරුට ලබා දෙන ලෙසට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් 17 දා ලබාදුන් තීන්දුව බල රහිත කරමින් එම දේපල යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය භාරයට ගෙන විමර්ෂණ සිදු කරන ලෙසට හෝමාගම මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා (21) දා නියෝග කළේය.
ඒ අනුව ඉකුත් 17 දා කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජය බණ්ඩාර මහත්මිය ලබා දී තිබූ නියෝගය බලරහිත වේ.
කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේ බණ්ඩාර මහත්මිය ඉකුත් 17 දා ලබාදී තිබූ එම නියෝගයට අනුව දේපලවල හිමිකරුවන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට (20) දා පැමිණ එහි භාරයේ තිබූ බස් රථ 05, මෝටර්රථය හා යතුරු පැදිය යළි රැගෙන ගොස් තිබුණි.
මෙම දේපළ රැගෙන යාම සම්බන්ධයෙන් (21) දා හෝමාගම මහාධිකරණයට නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසියටර් ජනරාල් සුදර්ශන සිල්වා මහතා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂ ඉන්දික මිලාන් මහතා පැමිණ අධිකරණයට කරුණු දැකවීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන සිල්වා මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ ඉහත දේපළ උපයාගත් ආකාරය පිළිබඳව මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණයක් පවත්වන අතරතුරදි ඊට ප්‍රමාණවත් කාලයක් ලබා නොදී මෙසේ ඉහත දේපළ යළි හිමිකරුවන්ට පවරා දීමෙන් පරීක්ෂණවලට බාධා එල්ල වී ඇති බව නියෝජ්‍ය සොලිසියට ජනරාල්වරයා අධිකරණයට හමුවේ කරුණු දැක්වීය.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් එම නියෝගය නිකුත් කර තිබුණේ මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයකුට පැවරී ඇති බලතල අනුව දින හතක තහනම් නියෝගයක් ඉකුත් 15 දා නිකුත් කර තිබූ පසුබිමක බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කියා සිටියේය
මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා තවදුරටත් අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා සිටියේ මෙම පරීක්ෂණ අවසන් වන තෙක් අදාල දේපල යලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසත් අදාල පෞද්ගලික බස්රථ පහට අයත් මගී ප්‍රවාහන බලපත්‍ර පහ නීති විරෝධී වත්කම් විමර්ශ කොට්ඨාසය භාරයට ගැනීමට අවසර ලබා දෙන ලෙසත්ය.
මේ පිළිබඳව කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් 17 දා නිකුත් කර තිබූ නියෝගය බල රහිත කරමින් යලි එම දේපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගැනීමට අවසර ලබාදුන් අධිකරණය වැඩිදුරටත් නියෝග කර සිටියේ අදාළ මාර්ග බලපත්‍ර පහද භාරයට ගැනීමටයි.
මෙම දේපළ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයේ ප්‍රගති වාර්තාව 2024.05.21 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයට මෙහිදී නියෝග කළේය
2011 අංක 40 දරණ පනතින් සංශෝධිත 2006 අංක පහ දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 8 (2) වගන්තිය යටතේ 2024.02.21 දා සිට 2024.05.21 දක්වා හෝ මාස තුනක කාලයක් තුළ ඉහත විමර්ශන අවසන් කරන ලෙසට මහාධිකරණ මිනිසුරුවරයා නියෝග කළේය.
ඒ අනුව එම දේපළ යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය භාරයට ගැනීමට නියමිතය.
ශාන්ත ප්‍රදීප්