කොවිඩ් අවදානම යළි ඉහළ යමින් පවතින බැවින් කඩිනමින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02දා) විශේෂ ප්‍රකාශයක් කරමින් ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය
“කොවිඩ් -19 රෝගීන් හා මරණ සංඛ්‍යාව යළිත් වැඩි වෙනවා. අප්‍රේල් මාසයේ කොවිඩ් රෝගීන් 1731ක් වාර්තා වුණා. කොවිඩ් මරණ 26ක් සිදු වුණා. එම තත්ත්වය මැයි මාසයේ දී රෝගීන් 472කට අඩු වුණා. මරණ වාර්තා වුණේ 13යි. ජුනි මාසයේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 283යි. මරණ 3යි. නමුත් ජූලි මාසයේ කොවිඩ් රෝගීන් 1616ක් දක්වා වැඩි වී තිබෙනවා. මරණ සංඛ්‍යාව 35ක්. මේ මරණ 35න් 28 ක් සිදු වුණේ ජූලි 18 වෙනිදායින් පසුවයි. මේ දෙස බැලූ විට තවත් එක කරුණක් පෙනෙනවා. ඒ කොවිඩ් එන්නත කඩිනමින් ලබා දීම කළ යුතු බවයි.
පළමු වටයේ දී මිලියන 17ක් එන්නත ලබාගත්තා. දෙවන වටයේ දී එය මිලියන 14කට අඩු වුණා. තුන්වෙනි වටයේ දී කොවිඩ් එන්නත ලබාගෙන තිබෙන්නේ මිලියන 8යි. 4වන වටයේ දී එන්නත ලබාගෙන තිබෙන්නේ පුද්ගලයන් 22,623 දෙනෙක් පමණයි. තුන්වෙනි වතාවෙත්, 4වන වතාවෙත් එන්නත ගත් ප්‍රමාණය විශේෂයෙන්ම බස්නාහිර පළාතේ අඩුවෙලා තිබෙනවා. ඒ නිසා එන්නත්කරණය සඳහා ජනතාව නැවත යොමු කළ යුතුයි.
ලංකාවේ දැනට එන්නත් මිලියන 8ක් තිබෙනවා. එය ඔක්තෝම්බර් මාසය වෙනකම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ එන්නත් මිලියන 8 ඔක්තෝබර් මාසයේ දී අවසන් කරන්න බැරි වෙනවා. ඒ නිසා කොටසක් වෙන රටකට දෙන්න සිදුවෙනවා. එන්නත ගෙනාවේ ඔබ වෙනුවෙන්. ඒ නිසා එන්නත ලබානොගත් සියලු දෙනාගෙන් මම ඉල්ලීමක් කරනවා, ඉක්මණින් එන්නත ලබාගන්න කියලා.
සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳ උපදෙස් දෙනවා. ඒ උපදෙස් අනුව සියලු දෙනාම කටයුතු කළ යුතුයි. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය “මන්කි ෆොක්ස්” වසංගතය පිළිබඳවත් අවධානය යොමු කරලා තිබෙනවා. දැනට එය ලංකාවට පැමිණිලා නැහැ. ලංකාවට එම රෝගය පැමිණීම වැළැක්වීමට පළමුවන පියවර ගෙන තිබෙනවා.
අවශ්‍ය වුණොත් ප්‍රතිකාර ලබාදෙන්න සැලසුම් සකස් කරගෙන යනවා. මේ අවස්ථාවේ දී සෞඛ්‍ය ගැන හිතලා ක්‍රියා කරන්න. මේ රට තුළ යළිත් කොවිඩ් වසංගතයට අවස්ථාවක් දෙන්න එපා කියා සියලු පාර්ශ්වයන්ගෙන් මම ඉල්ලා සිටිනවා”.