නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ රුපියල් එක් කෝටි තිස් අට ලක්ෂ හැට දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි කාටුන් 462 ක තොගයක් සමග ගුවන් යානා දෙකක පැමිණි ගුවන් මගීන් සිව් දෙනෙකු ද ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් 08/23 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.
මෙම අත් අඩංගුවට ගැනීම කටුනායක ගුවන් තොටුපොළ රේගු ඉතිහාසයේ විශාලතම දුම්වැටි වැටලීම් වලින් එකක් බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීවරයෙකු පැවසීය.
මෙයින් 08/23 දින පස්වරු 03.20 ට අබුඩාබි නුවර සිට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 390 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් මගීන් තිදෙනකු ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
ඔවුන් අතර ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි සහ 23 හැවිරිදි ගුවන් මගීන් දෙදෙනෙකු සහ 40 හැවිරිදි අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි ගුවන් මගියෙකු වශයෙන් ගුවන් මගීන් තිදෙනෙකි.
ඔවුන් සිය ගමන් මලු තුළ මෙම විදේශීය නිෂ්පාදිත " මැන්චෙස්ටර් " වර්ගයේ දුම්වැටි කාටූන් 115 බැගින් දුම්වැටි කාටූන් 345 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.
ඊට අමතරව සජා නුවර සිට 08/23 දින පස්වරු 02.36 ට පැමිණි එයාර් ඇරේබියා ගුවන් සේවයේ ජී.- 9508 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි නෙළුව ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ගුවන් මගියෙකු ද අත් අඩංගුවට ගෙන තිබේ .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ද විදේශීය නිෂ්පාදිත " මැන්චෙස්ටර් " වර්ගයේ දුම්වැටි කාටූන් 117 ක් සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව මෙම විදේශීය නිෂ්පාදිත දුම්වැටි 92,400 ක් අඩංගු දුම්වැටි කාටූන් 462 ක් කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.
මෙම අත් අඩංගුවට ගැනීම නියෝජ්‍ය රේගු අධ්යක්ෂවරුන් වන එච්.ආර්.ජී.කරුණාතිලක , සී.පී.බෝපගේ සහ එන්.යූ.කේ.බානගල යන මහත්වරුන් විසින් සිදු කර තිබුණි.
මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්යක්ෂ ජේ.එල්.කේ.ප්‍රනාන්දු මහතා විසින් පැවැත්වූ අතර එහිදී මෙසේ නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි සියල්ල රාජසන්තක කිරීමට නියෝග කළ අතර මෙම ගුවන් මගීන් සිව් දෙනාට රුපියල් ලක්ෂය බැගින් රුපියල් ලක්ෂ හතරක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කළේය.