කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ 01/07 දින අලුයම පැවති ඝන , දැඩි මීදුම් තත්වය නිසා , එහි ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 04 ක ගුවන් නියමුවන්ට , කටුනායක ගුවන් තොටුපොළ ධාවන පථය නිසියාකාරව නොපෙනීම නිසා , මත්තල සහ ඉඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.
ඒ අනුව 01/07 දින අලුයම 05.00ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 , චීනයේ ග්වැන්ෂෝ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 881 සහ 01/07 දින අලුයම 05.05 ට ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 174 දරන ගුවන් යානා 03 මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි .
ඊට අමතරව තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට 01/07 දින අලුයම 06.00 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි තුර්කි ගුවන් සේවයේ ටී.කේ.- 730 දරන ගුවන් යානය ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබුණි .
මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කළ ශ්‍රී ලන්කන් ගුවන් යානා වෙත ඉන්ධන ලබා දී තිබූ අතර , එම ගුවන් යානා වල පැමිණි ගුවන් මගීන් පිටතට බස්සවා නොතිබුණි .
මෙසේ වෙනත් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබූ සියලුම ගුවන් යානා 01/07 දින උදෑසන 09.00 පමණ වනවිට යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එසේම 01/07 දින උදෑසන 07.00 පමණ වනවිට කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ පැවති ඝන මීදුම් තත්වය ක්‍රමයෙන් පහව ගොස් තිබූ අතර , ඉන්පසුව කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි සියලුම ගුවන් යානා , ආපසු හරවා යැවීමකින් තොරව සාමාන්‍ය පරිදි , කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය .