කටුනායක ගුවන් තොටුපොළ තුළ බැංකු ස්ථාපිත ප්‍රදේශයට පිවිස , මුදල් මාරු කරන මුවාවෙන් එම ප්‍රදේශයේ ගැවසෙමින් සිට ගුවන් මගීන්ගේ ගමන් මලු සොරා ගන්නා යුවළක් ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර , එළඹෙන මැයි මස 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ .
මොවුන් දෙදෙනා කැළණිය , දිප්පිටිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පිරිමි පුද්ගලයා 36 හැවිරිදි වේ. කාන්තාව 35 හැවිරිදිය .
මෙහි පිරිමි පුද්ගලයා තම බිරිඳගේ ගමන් බලපත්‍රය රැගෙන කටුනායක ගුවන් තොටුපොළ බැංකු පිහිටි ප්‍රදේශයට පැමිණ, දෙස් විදෙස් සංචාරකයන් තම ගමන් මලු පසෙක තබා , ඔවුන් රැගෙන එන විදේශ මුදල් එම බැංකු වලින් ශ්‍රී ලංකා රුපියල් වලට මාරු කරමින් සිටින අවස්ථා වලදී , ඔවුන්ගේ අවධානය මුදල් මාරු කිරීම පිළිබඳ යොමු වී පවතින අවස්ථාවේ , මොහු ඔවුන්ගේ ගමන් මලු රැගෙන පළා යාම සිදු කිරීම කර තිබේ .
ඒ අනුව ඉකුත් 04/16 දින රාත්‍රී 08.50 ට ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.-509 දරන ගුවන් යානයෙන් මක්කම බලා යාමට මහනුවර , බංගොල්ලාදෙණිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි ව්‍යාපාරිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එහෙත් ඩුබායි ගුවන් තොටුපොළ අධික වැසි නිසා අකර්මණ්‍ය තත්වයක පැවැතීම නිසා මෙම ගුවන් ගමන එදින අවලංගු කර පැවති අතර , එනිසා මෙම ව්‍යාපාරිකයා ආපසු තම නිවෙස බලා යාමට පිටත් වී ඇති අතර , බැංකු ප්‍රදේශයේ දී මදක් නැවතී යළි මුදල් මාරු කිරීමක ද නිරත වී තිබේ .
තම ගමන් මලු පසෙක තබා මුදල් මාරු කරමින් සිටි මෙම ව්‍යාපාරිකයාගේ ගමන් මල්ලක් සොරා ගත් මෙම පුද්ගලයා වහාම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ .
මෙසේ නැති වූ ගමන් මල්ල තුළ රුපියල් දහ අට ලක්ෂ දහ තුන් දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 4,710 ක් තිබූ බව මෙම ව්‍යාපාරිකයා ගුවන් තොටුපොළ පොලිසිය වෙත පැමිණිළි කරමින් පවසා තිබේ .
ඒ අනුව ක්‍රියාත්මක වූ කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය එදින රාත්‍රී 11.45 ත් - 12.10 ත් අතර කාළ පරාසය තුළ එම බැංකු ප්‍රදේශය ආවරණය වන පරිදි සවි කර ඇති ආරක්ෂිත කැමරා පරීක්ෂා කර බලා මෙම සැකකරු හදුනා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
එහිදී තම විදෙස් ගමන් බලපත්‍රය මොහුට ලබා දෙමින් මෙම සොරකම සදහා ආධාර , උපකාර කිරීමේ වරදට මොහුගේ බිරිඳ ද පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් දෙදෙනා අත් අඩංගුවට ගෙන පොලිසිය සිදු කළ විමර්ශන වල දී , එදින සොරා ගත් ඇමෙරිකානු ඩොලර් 2,510 ක මුදලක් සහ ශ්‍රී ලංකා රුපියල් 398,500 ක මුදලක් මොවුන් සන්තකයේ තිබී සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
ඉන්පසුව 04/20 දින මොවුන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත පියවර ගෙන තිබූ අතර එහිදී ඔවුන් එළඹෙන මැයි මස 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ .