රෝගීන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම සඳහා මෙරට භාවිතයට ගැනෙන ඖෂධ පිළිබඳ පර්යේෂණ සිදුකර ගුණාත්මක බව තහවුරු කිරීමට ඇති ප්‍රමුඛතම ආයතනය වන ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පර්යේෂණාගාරයේ (National Medicines Quality Assurance Laboratory ) දිගින් දිගටම පවතින අඩුපාඩු හා දුර්වලතා හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය තුළ බරපතල ගැටලු රැසක් නිර්මාණය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරී පනත යටතේ පිහිටුවා සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සෘජුවම පවත්වාගෙන ගිය මෙම ආයතනය 2015 සිට ජාතික ඖෂධ නියාමන අධිකාරිය යටතේ පවත්වාගෙන යයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතට අනුව ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් ලියා පදිංචියට ඉදිරිපත් කිරීමේදී ,මෙරටට ගෙන ඒමේදී,භාවිතා කරන්නන්ගේ පැමිණිලි විභාගයේදී ,පශ්චාත් අලෙවි සමීක්ෂණ පැවැත්වීමේදී හා වෙනත් අවස්ථානුකූල අවශ්‍යතාවන්හිදී ඖෂධවල ගුණාත්මක භාවය පිළිබඳ පර්යේෂණ පවත්වා ඒවා භාවිතයට සුදුසුද නැද්ද යන්න පිළිබඳ නිගමන වාර්තා ලබා දීම මෙම පර්යේෂණාගාරයේ ප්‍රධානතම කාර්ය වේ.
ප්‍රමිතිගත ආයතනයක් ලෙස මෙය පවත්වාගෙන යාමට අදාලව ශ්‍රී ලංකා ප්‍රතීතන මන්ඩලය වෙතින් ලබාගතයුතු අනුකූලතා තක්සේරු සහතිකයක් මෙතෙක් ලබා නොගැනීමෙන් ජාත්‍යන්තර පිළිගැනීම හා ප්රතිලාභ අහිමි කරගෙන ඇති මෙම පර්යේෂණාගාරය දිගින් දිගටම ප්‍රමිතියෙන් බැහැරව පර්යේෂණ සිදුකිරීමේ නිරතව ඇතැයිද විගණනයෙන් පෙන්වා දෙයි.
බ්‍රිතාන්‍ය ඖෂධවේදී ප්‍රමිත සමග යාවත්කාලීන නොවීම , පර්යේෂණ සඳහා අත්‍යවශ්‍ය ප්‍රධාන උපකරණ පැරණි වීම හෝ අක්‍රීය වීම හෝ අලුත්වැඩියා සිදුනොවීම ,අත්‍යවශ්‍ය උපකරණ 18 ක් හිගවීම, වායු සමීකරණ පද්ධතිය අක්‍රීය වී හිතකර උෂ්ණත්වය නොපැවතීමෙන් රසායන ද්‍රව්‍ය මෙන්ම පරීක්ෂණ සඳහා ඇති නිදර්ශක විනාශවීම වැනි හේතුන් පර්යේෂණ කටයුතු අඩාල වීමට බලපා තිබේ.
රසායනාගාරය තුළ ආලෝකය මදිකම,අපිරිසිදු වාතාශ්‍රය ,වැහි ජලය කාන්දුවී සිවිලිම් ,බිත්ති සහ සවිකිරීම් විනාශ වෙමින් පැවතීම කාර්ය මන්ඩලයටද හිතකර වී නැත.
අධිකාරිය සතුව ප්‍රමාණවත් මූල්‍ය ශක්‍යතා තිබුනත් වසර ගණනක් තිස්සේ පවතින මෙකී අඩුපාඩු සපුරා ගැනීමට සාර්ථක උත්සාහයක් ගෙන නැති බව නිරීක්ෂණය වෙතැයි විගණනය මගින් කියා සිටී.
එමෙන්ම මේ හේතුන් නිසා ඖෂධ නියාමනය කෙරෙහි ඉවහල්වන වැදගත් පරීක්ෂණ වාර්තා නිකුත් කිරීම සඳහා ජාතික මට්ටමේ පර්යේෂණ ප්‍රමිතීන්ට අනුකූල නොවන වාතාවරණයක් නිර්මාණය වී ඇතැයිද විගණනයෙන් පෙන්වා දෙයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෘජු පාලනය යටතේ පැවති සමයේ 70 කින් යුක්තවූ කාර්ය මණ්ඩලයක් සිටි මේ ආයතනයට ඉකුත් වසරේ මැද භාගය වන විට 54 කින් යුත් කාර්ය මන්ඩලයක් සෘජුවම අනුයුක්ත කිරීමට අනුමත වී තිබිණි .එහෙත් මාරුවී යාම ,විශ්‍රාම ලබා යෑම ආදී හේතුන් මත ඇතිවූ පුරප්පාඩු නොපිරවීම නිසා වසර අවසානය වන විට කාර්ය මන්ඩලය 11 දක්වා අඩුවී ඇතැයි විගණනයේදී අනාවරණය වී තිබේ.
ඒ අනුව අනුමත ඖෂධ විශ්ලේශක තනතුරු 20 න් 15 ක් ,සහකාර ඖෂධ විශ්ලේෂක තනතුරු 25 න් 25 ම මෙන්ම රසායනාගාර සහකාර තනතුරු 8 ක් ඉකුත් වසරේ අවසානය වන විටත් පුරප්පාඩුව පැවති බව විගණනයෙන් පෙන්වා දී ඇත.
යෝග්‍ය පුහුණු අවස්ථා සැලසීම මගින් පර්යේෂණාගාර නිලධාරීන්ගේ දැනුම යාවත්කාලීන කිරීම සහ තාක්ෂණික දැනුම හුවමාරු කිරීම කෙරේ ඖෂධ නියාමන අධිකාරිය ප්‍රමාණවත් අවධානයක් යොමුකර නොතිබූ බවද විගණනයේදී හෙළිවී තිබේ.
මෙහි පවතින අඩුපාඩු හේතුවෙන් නියමිත කාල සීමා තුළදී පර්යේෂණාගාරය වෙතින් ඖෂධ තත්ත්ව පරීක්ෂණ වාර්තා නිකුත් කිරීමට අපොහොසත් වී ඇතැම් හදිසි හා අත්‍යවශ්‍ය ඖෂධ පරීක්ෂණ සිදුකළ කිරීමට ද නොහැකි වී තිබේ.
නියැදියක් ලබා ගැනීමෙන් පසු දින 90 ක් ඇතුළත ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වා වාර්තා නිකුත් කළ යුතුව ඇත.එහෙත් 2022 ජනවාරි සිට ඔක්තෝම්බර් දක්වා නිකුත්කර තිබු ඖෂධ වාර්තා 586 කින් 220 ක් ම ප්‍රමාදවී නිකුත් කර තිබිණි .එයින් 47 ක්ම වසරකටත් වඩා ප්‍රමාදවී නිකුත් කර තිබී ඇත.2023 ජූලි මස සිට ඔක්තෝම්බර් දක්වා ලැබී තිබූ නියැදි 424 ක් අතරින් 134 ක් පමණක් පරීක්ෂා තිබූ බව විගණනයෙන් පවසයි.
අධිකරණය විසින් පර්යේෂණාගාරය වෙත යොමුකරන ඖෂධ නියැදි පරීක්ෂණ කර දින 28 ක් ඇතුළත අදාල වාර්තාව අධිකරණයට ඉදිරිපත් කළයුතු වුවද 2022 ජනවාරි සිට 2023 ඔක්තෝම්බර් දක්වා නිකුත් කළ එවැනි පරීක්ෂණ වාර්තා 102 ම නියමිත කාල සීමාව තුළ ඉදිරිපත් කර නැති අතර එයින් 26 ක් වසරකටත් වඩා අධික කාලයක් දක්වා ප්‍රමාද වී ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2019 වර්ෂයේදී සිදුකරන ලද මිනුම් ලකුණු වැඩ සටහන අනුව මේ පර්යේෂණාගාරය සම්බන්ධයෙන් ප්‍රධාන නිර්දේශ 15 ක් ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කර තිබුනත් එයින් තුනක් අර්ධ ලෙස ක්‍රියාත්මක කර දහයක් ක්‍රියාත්මක කර නැත.
මෙහි පවතින අසතුටුදායක ත්ත්වයන් හමුවේ ඖෂධ ගැන තීරණ ගැනීම ,නියාමන අරමුණු හා නීතිමය අවශ්‍යතා ඉටුකර ගැනිම යන කරුණුවලදී පර්යේෂණාගාරය වෙතින් ප්‍රමාණවත් පිටුබලයක් නොලැබෙන බවත් ලියාපදිංචියට ඉදිරිපත්වන සියලු ඖෂධවල තත්ත්ව පරීක්ෂණ කිරීමට පර්යේෂණාගාරය වෙත සාම්පල ඉදිරිපත් නොකරන තත්වයක් නිර්මාණය වී ඇතැයිද විගණනයෙන් පෙන්වා දී තිබේ.
ඇතැම් වාර්තා ලැබෙන විට වෛද්‍ය සැපයුම් අංශයෙන් රෝහල් වෙත බෙදාහැරි ඖෂධ රෝගීන් සඳහා නිකුත්කර තිබීම මෙන්ම එලෙස බෙදා හැරි ඇතැම් ඖෂධ ගුණත්වයෙන් අසමත් බවට වාර්තාවී තිබූ බවද විගණන වාර්තාව මගින් පෙන්වා දී තිබේ.
2022හා 2023 වසරවල වෛද්‍ය සැපයුම් ක්‍රියාවලිය හා අදාලවන වෛද්‍ය සැපයුම් අංශය ,ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ අධිකාරිය පිළිබඳව ජාතික විගණන කාර්යාලය නොබෝදා නිකුත් කළ විශේෂ විගණන වාර්ථාව මගින් මේ සියලු කරුණු අනාවරණය කර තිබේ.
මෙකී අඩුපාඩු හා ඌනතා මගහරවා ජාත්‍යන්තර ප්‍රමිතිගත මට්ටමට දියුණු කර රෝගීන්ට ලබාදෙන ඖෂධවල ගුණාත්මක බව තහවුරු කිරීමට ප්‍රමුඛතාව ලබා දෙන ලෙසටද එම විගණන වාර්තාව මගින් නිර්දේශ කර තිබේ.
විගණිත දිනයෙන් පසු තත්වය පිළිබඳව තව දුරටත් විමසීමක් කිරීමට අන්තර්ජාලයේ සඳහන් ඖෂධ නියාමන අධිකාරියේ සහ ඖෂධ තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණාගාරයෙ දුරකතන අංක රැසකට අප විසින් දින කීපයක්ම ඇමතුම් රැසක් ලබා ගත්තද එම දුරකථන නාදවීම පමණක් සිදුවිය.
එමෙන්ම රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයෙන් 1919 අමතා විමසූ විට ඔවුන් පැවසුවේ එම ආයතනයේ දුරකතන අංක සොයා ගත නොහැකි බවයි .
ජේ.ඉඳුරුවගේ