රුධිරයේ කැටි ගැසීමට බලපාන ප්‍රධාන සාධකයක් වන අටවැනි සාධකය නොමැති වීම නිසා ඉතා කුඩා සීරීමකින් පවා විශාල රුධිර ගලනයන් නිර්මාණය වන හිමෝෆීලියා රෝගීන්ගේ රෝගී තත්ත්වයන් පාලනය කිරීම සඳහා ලබා දෙන අටවැනි සාධකය ( factor VIII) මෙන්ම අදාළ රෝගී තත්ත්වය පාලනය සඳහා ලෝකය පුරා දැනට අලුතින්ම භාවිත වන Emicizumab නැමැති ඖෂධ මෙරට සෞඛ්‍ය පද්ධතිය තුළ ප්‍රමාණවත් තරම් නොමැති වීමෙන් එම රෝගීන්ගේ ජීවිත අනතුරට ලක්වීමේ විශාල අවදානමක් නිර්මාණය විය හැකි බව සමගි ජන සන්ධාන කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කරයි.
පසුගිය කාලයෙහිදී මෙරට සෞඛ්‍ය පද්ධතියට අටවැනි සාධකය මිලදී ගැනීමක් සිදුකර තිබූ නමුත් අදාළ සාධකයේ ගුණාත්මකභාවය සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රශ්න කිරීම නිසා එම ඖෂධය අදාළ සමාගමෙන් මිලදී ගැනීමද නතර කරන ලදි. සෞඛ්‍ය පද්ධතියේ ඇතැම් පුද්ගලයන්ගේ අවශ්‍යතා මත තත්ත්වයෙන් බාල ඖෂධ මිලදී ගැනීමේ යාන්ත්‍රණය දිගින් දිගටම ක්‍රියාත්මක වීමෙන් රෝගීන්ට බලවත් අපහසුතාවක් ඇතිවන බවද ඔහු සඳහන් කළේය.
හිමෝෆීලියා රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර කීරිම සඳහා විශාල මුදලක් වාර්ෂිකව සෞඛ්‍ය අමාත්‍යංශය වියදම් කරයි. ලොව පුරා දැනට භාවිත කරන Emicizumab ඖෂධය යොදාගැනීමෙන් දිගු කාලීනව වියදම් කිරීමට සිදුවන මුදල පාලනය වන අතර ඒ කාර්යක්ෂමතාවද ඉහළ බව වෛද්‍ය චමල් සංජීව මහතා අවධාරණය කළේය.
මෙම නව ඖෂධයෙහි එක කුප්පියක් සඳහා ඇමෙරිකානු ඩොලර් 1700ක මුදලක් වියදම් වන බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දක්වා එම මිලදී ගැනීම් සඳහා කැමැත්ත ලබාදී නැත.රෝගීන්ගේ ජීවන ගුණාත්මකභාවය සැලකිල්ලට ගෙන මෙම නව ඖෂධය මිලදී ගැනීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු වන්නේ නම් ඒ හිමෝෆීලියා රෝගීන්ට විශාල සහනයක් බව වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි.
ධම්මික ප්‍රේමරත්න