'අද' පුවත්පත විසින් පසුගියදා (03දා) අනාවරණය කරන ලද ඕමානයේ ගෘහ සේවය සඳහා රැගෙන ගොස් එරටදී විවිධ හිරිහැරවලට ලක්ව මියගිය හම්බන්තොට තරුණියට අදාළ සිද්ධිය සංචාරක වීසා මත සිදු කළ මිනිස් වෙළෙඳාමක් බවට තහවුරු කරගෙන ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
එසේම මෙම මරණය සියදිවි හානිකර ගැනීමක් ද, නොඑසේ නම් ඝාතනයක් ද, යන්න තවමත් නිශ්චිත වශයෙන් තහවුරු කරගෙන නොමැති බවත්, ඒ අනුව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල හා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුර කරුණු සොයා බලමින් සිටින බවත් ඒ මහතා සඳහන් කර සිටියේය.ඔහු අවධාරණය කර සිටියේ බලපත්‍ර නොමැතිව සංචාරක වීසා මගින් රැකියා සඳහා යොමු කළ මෙම ක්‍රියාව මිනිස් වෙළෙඳාමක් වන අතර එය නීති විරෝධික්රියාවක් වන බවය.
ඒ අනුව මිනිස් වෙළළෙඳාමෙහි නිරතවන පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. හම්බන්තොට සුචි ගම්මානයේ පදිංචිව සිට මියගිය 22 හැවිරිදි තරුණිය හා ඇගේ වැඩිමහල් සොයුරිය රවටා කූට අන්දමින් මිනිස් වෙළෙඳාමේ නිරත වූ හම්බන්තොට සමෘද්ධි සංවර්ධන නිලධාරියා ඇතුළු සැකකරුවන් තිදෙනකු, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සමෘද්ධි සංවර්ධන නිලධාරියා හා තවත් සැකකරුවකු හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේදී පසුගිය 04 වැනිදා අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු අද (05දා) හම්බන්තොට නගරයේ සිදු කළ විශේෂ මෙහෙයුමකින් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබිණ.
අදාළ තරුණියන් දෙදෙනා ඩුබායිහි සාත්තු සේවිකා රැකියා ලබාදෙන බව පවසා ඕමානයේ ගෘහ සේවිකා රැකියා සඳහා යොමු කිරිමට මෙම සැකකරුවන් කටයුතු කර ඇති අතර සංචාරක වීසා මත පැමිණීම හේතුවෙන් රැකියා නොමැතිව ඕමානයේ විවිධ ස්ථානවල තරුණියන් දෙදෙනා රැකියා සඳහා යොදවා ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ විවිධ හිරිහැරවලට ලක්ව, පසුව 22 හැවිරිදි තුවාන් රාජික් රමිෂා තරුණිය එහිදි මියගිය බවට ඇගේ වැඩිමල් තරුණිය විසින් සිය මවට දන්වා ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හම්බන්තොට මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කොට තිබේ. කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු කපිල කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇත.