ඕනෑම විවාදයක් පිළිබඳ අභියෝගයකට මුහුණ දීමට තමා සූදානම් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සක්වල වැඩසටහන යටතේ මුලතිව් ඔඩ්ඩුසුඩාන් මුත්තුඅයියන්කට්ටු පාසලකට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට අද (03දා) එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
"මේ මොහොත වන විට අපිට දකින්නට ලැබෙනවා, සමාජයේ කතාබහට ලක්වෙනවා රටේ ප්‍රශ්න පිළිබඳව විවාදයක් අවශ්‍යයි කියලා. ඔව් මමත් පිළිගන්නවා, රටේ ප්‍රශ්න පිළිබඳව වාද විවාද කරන්න ඕනෑ. යෝජනා ඉදිරිපත් කරන්න ඕනෑ. ඒ නිසා විවාද පවත්වන එක ප්රජාතන්ත්රවාදී සමාජයක උසස් ගුණාංගයක්. මම සූදානම් ඕනෑම විවාදයකට. ආර්ථික ක්ෂේත්රය හෝ වේවා, සමාජීය ක්ෂේත්රය හෝ වේවා, දේශපාලන ක්ෂේත්රය හෝ වේවා, ජාත්‍යන්තර ක්ෂේත්රය හෝ වේවා ඕනෑම මාතෘකාවක් පිළිබඳව වාද විවාද කරන්න මම සූදානම්. ඒත් වාද විවාද කිරීමෙන් පමණක් රට ගොඩනැගෙන්නේ නෑ.
වාද විවාද කරනවා වගේම ඒ විවාදය හරහා රටටත් ජනතාවටත් අගයක් එකතු වෙන්න ඕනෑ. විපක්ෂයේ ඉන්න කාලය වාද විවාදවලට පමණක් සීමා වෙලා වැඩක් නෑ. වැඩක් කරන්න ඕනෑ. සෙතක් සලසන්න ඕනෑ. සේවයක් කරන්න ඕනෑ. ඒ නිසා ඕනෑම විවාදයක් පිළිබඳ අභියෝගයකට මුහුණ දෙන්න මම සූදානම්. ඒ වගේම මමත් අභියෝගයක් කරනවා වාද විවාදවලට පමණක් සීමා නොවී එන්න, මාත් එක්ක තරගයට රටට වැඩක් කරන්න."