කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කර,එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්රයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහාත් මහජන පීඩා ඇති නොවන පරිදි දැනට පවතින සීමා සංශෝධනය කිරීමටත් කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා හා එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්රයේ නියැලී සිටින පිරිසක් අතර ඊයේ (24දා) සාකච්ඡා පැවැත් වූ සාකච්ඡාවෙහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එළිමහන් සංගීත ප්‍රසංග පැවැත්වීමේ කාල සීමාව දීර්ඝ කර ගැනීම, ක්‍රීඩාංගණ වෙන් කර ගැනීමේදී ඇති ගැටලු මගහරවා ගැනීම, ශබ්ද විකාශන බලපත්‍ර ලබා ගැනීමේදී ඇති ගැටලු විසඳා ගැනීම, ශිල්පීන්ගේ අයකිරීම් සාධාරණ මට්ටමක පවත්වා ගැනීම, විනෝද බද්ද අය කිරීමේදී පවතින විෂමතා ඉවත් කරගැනීම සහ රසිකයන්ගේ ආරක්ෂාව තර කිරීම ඇතුළු යෝජනා රැසක් ඔවුන් විසින් අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කෙරිණ.
මිට අමතරව ඊයේ අමාත්‍යවරයා හා ජ්‍යොතිෂ ක්ෂේත්රයේ නියැලී සිටින පිරිසක් අතර සාකච්ඡාවක්ද පැවැත් විණ.
මෙහිදී සිංහල හින්දු අලුත් අවුරුදු නැකැත් සකස් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වූ අතර ඔවුහු සිය ක්ෂේත්රයේ ගුණාත්මකභාවය වර්ධනය සඳහා ද අමාත්‍යාංශයේ මැදිහත්වීම ඉල්ලා සිටියහ.
මේ වසරට අදාළ සිංහල හින්දු අලුත් අවුරුදු නැකැත් සියල්ල මේ වන විට ජනගත වී තිබෙන හෙයින් එහි වෙනස්කම් සිදු කිරීම සඳහා කිසිදු බලපෑමක් නොකරන බවක් පෙන්වා දී ඇත.
2026 වසරේ සිට විධිමත් වැඩපිළිවෙළක් ඔස්සේ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සම්පාදනයටත්, ජ්‍යොතිෂ ක්ෂේත්රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම අවශ්‍ය බව ඔවුහු අවධාරණය කළහ.
ඒ අනුව ජ්‍යොතිෂ ක්ෂේත්රයේ නියැලී සිටින සියලු දෙනාට සිය යෝජනා ඉදිරිපත් කිරීමටත්, අමාත්‍යාංශයේ මැදිහත් වීම මත ඔවුන්ට එක් දිනකදී රැස්වීමකට සහභාගී වීමටත් අවශ්‍ය වැඩපිළිවෙළක් සම්පාදනය කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා විසින් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.