කොළඹ ජාතික රෝහලේ එම් ආර් අයි පරීක්ෂණ සිදුකර ගැනීමට මාස ගණන් පොරොත්තු ලේඛනවල සිටීමට සිදුව තිබෙන බව රෝගී ජනතාව සඳහන් කරති.
විශාල රෝගීන් පිරිසක් පරීක්ෂණ සිදුකර ගැනීමට සිටින විට, මීට පෙර අදාළ පරීක්ෂණ කටයුතු පැය 24 පුරා සිදුකළ බවත්, එහෙත් මේ වන විට පැය 24 පුරා පරීක්ෂණ සිදුනොවන බවද පෙන්වා දෙති.
මෙවැනි පරීක්ෂණයක් පුද්ගලික අංශයෙන් සිදුකර ගැනීමේදී රුපියල් විසිපන්දහසේ සිට රුපියල් එක් ලක්ෂ විසිදහසක් දක්වා මුදලක් වියදම් කිරීමට පවා සිදුවන බවද සඳහන් කරති.
කොළඹ ජාතික රෝහලේ පවතින යන්ත්ර 03 න් අක්ෂි රෝහලේ පරික්ෂණ කටයුතු හා අපේක්ෂා රෝහලේ හා කළුබෝවිල රෝහලින් යොමු කරන රෝගීන්ගේ පරීක්ෂණ කටයුතු සිදුකරන බවද රෝහල් සේවකයෝ සඳහන් කරති.
මේ වන විට රෝහල සතුව යන්ත්ර 03ක් පවතින බවත්, පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන කොළඹ ජාතික රෝහලට තවත් එම් ආර් අයි ස්කෑන් යන්ත්රයක් ලබා ගැනීමට සැලසුම් කර තිබෙන බවද පෙන්වා දෙති.
එහෙත් සිදුවිය යුත්තේ කළුබෝවිල රෝහලට හා අපේක්ෂා රෝහලට යන්ත්රය බැගින් ලබා දී එම රෝහල්වලින් යොමු කරන රෝගීන් ප්රමාණය අඩු කිරීම බවද රෝහල් සේවකයෝ සඳහන් කරති.
කොළඹ ජාතික රෝහලට දැනට තිබෙන යන්ත්ර 03 ප්රමාණවත් බවත්, මෙම යන්ත්රවලින් නියමිත ධාරිතාවෙන් පරීක්ෂණ සිදුකිරීමට වැඩපිළිවෙළක් සකස් විය යුතු බවද පෙන්වා දෙති.
පරීක්ෂණ කටයුතු සිදුකර ගැනීම සඳහා ඇතැම් රෝගීන්ට මාස 06ක්, මාස 08ක් වැනි කාලයක් පොරොත්තු ලේඛනවල සිටීමට සිදුව තිබෙන බවත්, මෙම පිරිස් අතර ඉතාමත් වයස්ගත පිරිස් පවා සිටින බවද රෝහල් සේවකයෝ සඳහන් කරති.