ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව සන්ධානය ශ්‍රී ලංකාවේ සියලුම මැතිවරණ කොට්ඨාස සඳහා අපේක්ෂක ලැයිස්තු ඉදිරිපත් කිරීමට නියමිතය.
නව සන්ධානය මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වන ලකුණ ඉදිරි දින දෙක තුළදී තීරණය කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා වන කටයුතු කඩිනමින් සම්පාදනය කරන ලෙස හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නිලධාරී මණ්ඩලයට දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පක්ෂ රැසක් එක්සත් ජාතික පක්ෂය සමග සන්ධානගත වී මහ මැතිවරණයට ඉදිරිපත් වීමට මේ වන විට එකඟතා පළව තිබෙන බව පක්ෂ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ නව සන්ධානය ඉදිරිපත් වන ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී ඊයේ (30දා) පැවැත්විණි.
මෙම සාකච්ඡාව සඳහා එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනූෂ නානායක්කාර සහ සමන් රත්නප්‍රිය මහත්වරුද සහභාගී වූහ.