ශ්‍රී ලංකා මුහුදු වෙරලේදි එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමට හේතූව වී ඇත්තේ එහි තිබූ කොන්ටේනර් දෙකකින් ‘නයිට්‍රික් අම්ලය’ කාන්දු වීමෙන් ඇතිවූ ගින්නක් බවත් විමර්ශන වලදී හෙළි වී ඇතැයි පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන් නීතිපතිවරයා නෞකාව ගිනි ගැනීමට වගකිව යුත්තේ නෞකාවේ කාර්ය මණ්ඩලය සහ නැව පාලනය කළ සමාගම යැයිද අද (25) දැනුම් දුන්නේය.
‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකා මුහුදු වෙරළේදී ගිනි ගැනීමෙන් ධීවරයින්ට සහ පරිසරයට සිදු වූ හානියට වන්දි දෙන්නැයි ඉල්ලා ගොනු කල මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී නීතීපතිවරයා වෙනුවෙන් පෙනී සිටි වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා ඒ බව දැනුම් දුන්නේය.
අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ග්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගයට ගැනීණි.
අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්, මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා, වෘත්තීය ධීවරයින් දෙදෙනෙකු වන ඩබ්ලිව්. ගාමිණී ප්‍රනාන්දු, වර්ණකුලසූරිය ක්‍රිස්ටෝපර්, සරත් ප්‍රනාන්දු සහ පරිසර විද්‍යාඥවරියක වන ආචාර්ය අජන්තා පෙරේරා, ජේ. ජෙගතීෂ්වරන්, පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්යක්ෂ හේමන්ත විතානගේ විසින් මෙම පෙත්සම් ගොනුකොට ඇත.
පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් පරිසර ඇමතිවරයා, ධීවර ඇමතිවරයා, වරාය අමාත්‍යවරයා, වරාය අධිකාරියේ සභාපතිවරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා, එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නියෝජිත සමාගම වන සී. කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගම, සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, නීතිපතිවරයා ඇතුළු 12 දෙනෙකු නම් කර ඇත.
පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසීටර් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා කරුණු දක්වමින් සිදුවූ හානියට වන්දි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් කීපයක්ම ගොනුකර ඇතැයිද පෙත්සම් විහාග කිරීමට අධිකරණය අවසර දී ඇතැයිද කීය.
සිද්ධිය පිළිබඳ විමර්ශන වලදී නයිට්‍රික් අම්ලය කාන්දු වන කන්ටේනර් දෙකක් නැවෙ තිබී ඇති බවත් ඒ හේතුවෙන් ගිනි ගැනීම සිදුවී ඇති බවත් හෙළි වී ඇතැයි කී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට සම්පුර්ණයෙන්ම වගකිය යුත්තේ එහි කාර්ය මණ්ඩලය සහ නෞකාව පාලනය කළ සමාගම යැයිද කීය.
කන්ටේනර් දෙකකින් ‘නයිට්‍රික් අම්ලය’ කාන්දු වන බව දැනගෙන් දින 09ක කාලයක් ගතවී තිබුණත් බලධාරීන් ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බව විමර්ශන වලදී හෙළි වු බව දැනුම් දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සම්පූර්ණයෙන්ම බලධාරීන්ගේ නොසැලකිල්ලෙන් සිදුවූ මෙයට රජය ආකාරයක වගකීමක් දැරීමේ අවශ්‍යතාවයන් නැතැයිද කීය.
‘දූෂකයා විසින් වන්දි ගෙවිය යුතුය’ යන නීති මූලධර්මය අනුව සුදුසු අධිකරණයක වන්දි නඩුවක් පවරා වන්දි ලබාගැනීමට කටයුතු යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අනෙකුත් නීති අනුව පෞද්ගලික පාර්ශවයකට එරෙහිව විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් කඩකිරීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවත් කී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා එම තත්වය මත පෙත්සම්කරුවන් මෙම පෙත්සමෙන් ඉල්ලා ඇති සහනයන ප්‍රධානය කිරීමට හැකියාවක් නැති බවත් පෙන්වා දුන්නේය.
නැවේ කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ල හේතුවෙන් සිද්ධිය සිදුවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව සිවිල් මෙන්ම අපරාධ නඩු පවරා ඇති බවත් ඒ අනුව සිද්ධියෙන් හනියට පත්වූ පුද්ගලයන්ට එම නඩුකර වලින් ලැබෙන වන්දි මුදල් ගෙවීමට කටයුතු කරන බවත් කී අතිරේක සොලිසිටර් ජනරාල්වයා ඇතැම් සිවිල් හා අපරාධ නඩු අදාළ අධිකරණවල මේ වන විටත් විහාග කරන බවත් පැවසීය. පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වේ.
සචිත්ර ගුණසේකර