ගොවිඳුපුර පොලිස් වසමට අයත් කන්දඋඩපංගුව අම්පාරපාර 07 කණුව අසල පදිංචි මාස 06 ගැබිනියක්වූ එක්දරු මවක් ඉකුත් (09) වෙනිදා සිට අතුරුදන්වී ඇතැයි ගොවිඳුපුර පොලීසිය පවසයි.
ඇය ඉකුත් 09 වෙනිදා උදෑසන දහයට පමණ රන්දු නැමැති දියණිය සමඟ මාතෘ සායනයට පිටවගොස් පසුව මවගේ නිවසට යන බව පවසමින් දියණිය පිටත්කර යවා ඇත.
තම බිරිඳ වන කේ.ඒ අමාලී ශ්රියා නමැත්තිය නිවසට නොපැමිණි බවට ඇයගේ ස්වාමිපුරුෂයා වන වෙලේගෙදර සමීර මාදම්පිටිය නැමති අය විසින් (10) වෙනිදා පොලීසියට පැමිණිලිකර තිබේ.අවස්ථා කිහිපයකදී බිරිඳගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාදී ඇතත් එය විසන්ධිවී ඇත.
පසුව ඇය වට්ස්ඇප් පණිවිඩයක් මඟින් ඇයගේ ගිණුමට මුදල් බැරකරන ලෙස දැනුම්දී තිබේ. එදිනම කිසියම් අයෙකු බිරිඳගේ වට්ස්ඇප් ගිණුමට රුපියල් ලක්ෂ 50 බැරකරන ලෙසද දැනුම්දී ඇත. එසේ නොකළහොත් සමීර “උඔ දඟලන්න එපා ගෑණි දැන් ඉන්නේ අපිගාව.උඹ පොලීසි ගිහින් අපිට කරන්න පුළුවන් දෙයක් නැහැ.ලක්ෂ පනහක් හදලා තියපන්.සල්ලි දුන්න කියලා පොලීසියට කිව්වොත් ගෑණි මරනවා යන ලෙස සඳහන්කර පරුෂ වචනයෙන් බැන කෙටි පණිවිඩයක් එවා තිබේ.
මෙම කාන්තාව මීට පෙර සතියකට පමණ ඉහතදී කුස තුළ සිටින දරුවා ඉවත්කරන ලෙස සැමියාට දැනුම්දී ඇතත් ඔහු පවසා ඇත්තේ දරුවා අයින් කරන්න විදිහක් නොදන්නා බව.එවිට ඇය පවසා ඇත්තේ “තොට බැරිනම් මම කාට හරි කියලා අයින් කරගන්නම්” යනුවෙනි.
සැමියා මේ පිළිබඳව පොලීසියට පවසා ඇත්තේ දරුවා ගබ්සා කිරීමට බිරිඳ මුදල් සිටි ඉල්ලා සිටින බව හෝ බිරිඳ කිසියම් පුද්ගලයෙකු රැගෙනගොස් සිරකරගෙන සිටින බවයි. ඉහත කරුණු දෙක පිළිබඳව ගොවිඳුපුර වැඩබලන පොලිස් ස්ථානාධිපති කරුණාශාන්ත මහතා පරීක්ෂණ පවත්වයි.
මොනරාගල සුමනසිරි ගුණතිලක