පුද්ගලයන් 500 කින් එක් අයෙකුට පමණක් පිහිටන විරල තත්වයක් වන වකුගඩු දෙක යටින් එකට බද්ධ වූ පුද්ගලයෙකුගේ වකුගඩු දෙකේම හටගත් ගල් නවතම තාක්ෂණය යටතේ ඉවත්කිරීමේ සුවිශේෂී සැත්කමක් පසුගියදා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේදී සිදුකෙරිණි.
කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ වකුගඩු හා මෞත්‍රලිංගික ශල්‍ය වෛද්‍ය ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කලණ පරණ පල්ලියගුරුගේ මහතා ඇතුළු කණ්ඩායමක් විසින් මෙම සුවිශේෂී ශල්‍යකර්මය සිදුකල අතර එම ශල්‍යකර්මය කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ වකුගඩු හා මෞත්‍රලිංගික ශල්‍ය වෛද්‍ය ඒකකය සිදුකල 150 වැනි වකුගඩු ගල් ඉවත්කිරීමේ ශල්‍යකර්මය වීමද විශේෂත්වයකි.
මෙම සුවිශේෂී ශල්‍යකර්මය පිළිබඳව කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ වකුගඩු හා මෞත්‍රලිංගික ශල්‍ය වෛද්‍ය ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය කලණ පරණ පල්ලියගුරුගේ මහතා මෙසේ පැවසීය.
අද කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ වකුගඩු හා මෞත්‍රලිංගික ශල්‍ය ඒකකයට විශේෂ දවසක්. අද අපේ අංශයේ 150 වැනි වකුගඩු වල ගල් ඉවත්කිරීමේ ශල්‍ය කර්මය සිදුකලා. මෙම ශල්‍යකර්මයත් විශේෂයි. මේ ශල්‍යකර්මය අප කරන්නේ අශ්ව ලාඩමක හැඩයෙන් යුත් වකුගඩු දෙකක (Hose Shoe Kidney ) එනම් වකුගඩු දෙක පහලින් එකට සම්බන්ධවූ පුද්ගලයෙකුගේ වකුගඩු දෙකේම තිබුණු ගල් එකම අවස්ථාවක ඉවත්කිරීම සඳහායි.
මෙසේ අශ්ව ලාඩමක හැඩයෙන් යුත් වකුගඩු දෙකක් ඇතිවීම පුද්ගලයන් 500 කින් එක් අයෙකුගේ පමණ පිහිටන විරල පිහිටීමක්. නමුත් මෙය විකෘර්ති තත්වයක් නොවෙයි. අද අප මෙම ශල්‍යකර්මය සිදුකලේ වයස අවුරුදු 38 ක පිරිමි පුද්ගලයෙකුගේ. මෙම ශල්‍යකර්මයේ තවත් විශේෂත්වයක් තමයි අප ඉතාමත් නවීන උපකරණ මෙම ශල්‍යකර්මයේදී භාවිතා කළා.
අප ළඟ දැනටමත් තිබෙනවා වෝට් 140 ක ඉතාමත් අධිබලැති ලේසර් යන්ත්‍රයක්. ඒ ලේසර් යන්ත්‍රයෙන් වකුගඩුවල පිහිටි ගල් ඉතාම සියුම් කොටස් වලට කඩන්න පුළුවන්. ඒවගේම මෙම ශල්‍ය කර්මය සඳහා අප විශේෂයෙන්ම භාවිතා කළා නම්‍යශීලී නලයක් ( Disposable Flexible Yuritroscopy) වැනි උපකරණයක් වකුගඩුවේ ගල් ඉවත්කිරීම සඳහා.මෙම උපකරණය රජයේ රෝහල්වල මෙතෙක් භාවිතා නොකළ උපකරණයක්. මෙම උපකරණය මගින් වකුගඩුවේ පිහිටි ඉතාමත් සංකීර්ණ නාල පද්ධතියට යොමුවෙලා අප වකුගඩුව තුල සියලුම කොටස්වලට ගිහින් එම ගල් කුඩා කොටස් වලට කඩා වකුගඩුවට ඇතුලුකල ටියුබ් එක මාර්ගයෙන් එලියට ගත්තා. අප භාවිතා කල ලේසර් යන්ත්‍රයෙන් වකුගඩුවේ පිහිටි ගල් ඉතාම කුඩා කොටස් වලට සහ දූවිලි බවට පත්කර ශරීරයෙන් ඉවතට ගැනීමට හැකියාව ලැබුනා. අප මේ සඳහා රෝගියාගේ ශරීරයේ සුලැඟිල්ලේ නියපොත්තක් තරම් ප්‍රමාණයේ සිදුරක් පමණයි යොදා ගත්තේ.
මා මේ අවස්ථාවේ විශේෂ පණිවිඩයක් ලබාදීමට කැමතියි තරුණ වයසේ පසුවන අයට.මෙම ශල්‍ය කර්මය කල පුද්ගලයාත් වයස 38 ක කෙනෙක්. තමන්ගේ වකුගඩුවේ ගලක් තිබෙනවා නම් ශල්‍යකර්මයකින් තමයි එය ඉවත්කළ යුත්තේ. ශල්‍යකර්මයකින් ගලක් ඉවත් කලත් නැවත වකුගඩුවක ගල් ඇති විය හැකියි. දැන් වකුගඩුවක පිහිටන ගලක් ඉවත්කිරීමට විශාල කැපුම් සහිත ශල්‍යකර්ම වලට යා යුතු නැහැ. මෙවැනි ශල්‍යකර්මයකට අප රෝගියාගේ ශරීරයේ සුලැඟිල්ලේ නියපොත්තක් තරම් ප්‍රමාණයේ සිදුරක් පමණයි සිදුකරන්නේ. එම නිසා රෝගියාට ශල්‍යකර්මයෙන් පසුව දින කීපයකින් ඔහුගේ සාමාන්‍ය ජීවන ක්‍රියාකාරකම් වල යෙදීමට හැකියාව ලැබෙනවා.
මෙම සුවිශේෂී ශල්‍යකර්මය සඳහා වකුගඩු සහ මෞත්‍රලිංගික විශේෂඥ ශල්‍ය වෛද්‍ය කලණ පරණ පල්ලියගුරුගේ මහතා සමග වකුගඩු සහ මෞත්‍රලිංගික ශල්‍ය ඒකකයේ වෛද්‍යවරුන් වන වෛද්‍ය අරුණි , වෛද්‍ය අනුපමා , වෛද්‍ය යුරේකා ,නිර්වින්දන වෛද්‍යවරුන් වන වෛද්‍ය මුදිත සහ වෛද්‍ය තුෂානි ,ශල්‍යාගාර හෙද සොයුරිය රාජිනී ,ශල්‍යාගාර හෙද නිලධාරීන් වන දුලාරි ,එරන්දි ,චාන්දනී ,නිමේෂා ,ප්‍රියංගනී ,විකිරණ ශිල්පී දිල්ශාන් ,සහ සෙසු කාර්ය මණ්ඩලයේ උදිත ,ප්‍රදීප් ,රසික යන කණ්ඩායම එක්වී සිටියහ.
මතුගම බන්දු තඹවිට