නව තානාපතිවරුන් දෙදෙනෙකු නව මහ කොමසාරිස්වරයෙකුගේ පත්වීම් සඳහා වන නාමයෝජනා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබේ. ඒ එම කාරක සභාව පසුගියදා (21) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.
එමෙන්ම ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතයෙකු පත් කිරීම සඳහා වන නාමයෝජනාවද කාරක සභාව අනුමත කළේය.
ඒ අනුව, කියුබා ජනරජයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආර්.එම්. මහින්ද දාස රත්නායක මහතා පත්කිරීමටත්, ජපානයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ මහතා පත් කිරීමටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමැතිය ලබා දුන්නේය.
එක්සත් රාජධානියට අයත් මහා බ්‍රිතාන්‍යයේ සහ උතුරු අයර්ලන්තයේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස එස්. ඩී. නිමල් උපාලි සේනාධීර මහතා පත් කිරීම සඳහා වන නාමයෝජනාව ද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමත කළේය.
තවද, ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය මහතාගේ නාමයෝජනාවද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කරන ලදී.
ගරු අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට සභානායක අමාත්‍ය බිමල් රත්නායක, අමාත්‍යවරුන් වන කුමාර ජයකොඩි, (ආචාර්ය) අනිල් ජයන්ත, (ආචාර්ය) හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන නීතිඥ දයාසිරි ජයසේකර සහ නීතිඥ චමින්ද්‍රනී කිරිඇල්ල යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.