පොලිස් කොස්තාපල් තනතුරේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දක්වා සේවය කරන පිරිස්වලට උසස් වීම් ලබා දීමේ ප්‍රමාදය නිසා නිලධාරීන් 8197කට දැඩි අසාධාරණයක් සිදුව තිබේ.
ඇතැම් පොලිස් නිලධාරීන්ට ආසන්න උසස් වීම් ලබා දීමට නියමිතව තිබුණේ 2020 වසරේ පෙබරවාරි 08වන දින බවත්, මේ ආකාරයට පහළ ශ්‍රේණිවල සේවය කරන පිරිස්වලට වසර තුන, හතරක සිට උසස් වීම් ලබා දීමක් සිදුවී නොමැති බවත් අසාධාරණයට පත් පොලිස් නිලධාරීහු සඳහන් කරති.
උසස් වීම් නොලැබීමේ ගැටලුවට මුහුණ දී සිටින පිරිස් සැලකීමේදී පොලිස් සැරයන්වරුන් 4,178ක්, පොලිස් පරීක්ෂකවරුන් 1,273 ක්, උපපොලිස් පරීක්ෂකවරුන් 948 ක්, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 305 ක්, කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් 14 ක්, කාන්තා උපපොලිස් පරික්ෂකවරියන් 142 ක්, කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 653 ක්, පොලිස් කොස්තාපල්වරුන් 245 ක්, මහ සැරයන්වරුන් 50 ක්, ප්‍රවාහන අංශයේ සේවය කරන උපපොලිස් පරික්ෂකවරුන් 98 ක් හා පොලිස් රියදුරු කොස්තාපල් හා සැරයන් තනතුරේ සේවය කරන පිරිසක්ද සිටී.
සමහර ශ්‍රේණිවල නිලධාරීන් එකම තනතුරේ වසර 12- 15 අතර කාලයක් සේවය කරන තිබෙන අතර පහළ ශ්‍රේණිවල සේවය කරන නිලධාරීන්ට උසස් වීම් ලබා දීමට කටයුතු නොකළත් ඉහළ පොලිස් නිලධාරීන්ගේ උසස් වීම් නිසි කලට ලබා දෙන බවද උසස්වීම් ගැටලුවට මුහුණ දී සිටින පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරීහු සඳහන් කරති.
මීට අමතරව රාජකාරි ඉටු කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී,නියෝජ්‍ය පොලිස්පති, කාන්තා නියෝජ්‍ය පොලිස්පති, කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුරුවලට යම් පිරිසක් පත් කර තිබෙන බවද ඔවුහු පෙන්වා දෙති.
මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවෙහි පුරප්පාඩු 24000ක පමණ ප්‍රමාණයක් තිබෙන බවට වාර්තා වන බවත්, මේ නිසා උසස් වීම් අහිමි වී තිබෙන පිරිස්වලට උසස් වීම් ලබා දෙන තෙක් සුදුසුකම් සලකා බලා රාජකාරි ඉටු කිරීම සඳහා හෝ තනතුරුවලට අනුයක්ත කරන ලෙසත් ඉල්ලා සිටියි.
අදාළ තනතුරුවල සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් පසු ආසන්න උසස්වීම් ලබා දීමේ ක්‍රමවේදයක් නොමැති වීම නිසා පහළ ශ්‍රේණිවල පොලිස් නිලධාරීන්ට දිගින් දිගටම අසාධාරණ කම් සිදුවන බවද එම පිරිස් සඳහන් කරති.