උප පොලිස් පරීක්ෂක නිලයන් දරණ සැමියෙකුට සහ බිරිඳකට අයත් නිවසක් බිඳ, රුපියල් ලක්ෂ හතකට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් සොරකම් කළ පුද්ගලයෙකු හෝ පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (14දා) විමර්ශනයක් ආරම්භ කළ බව කැකිරාව පොලීසිය පවසයි.
අනුරාධපුර පිහිටි නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ ඉපලෝගම පොලීසියේ රාජකාරියේ නිරත පොලිස් පරීක්ෂකවරියකට අයත්, තලාව පාර, කොට්ටල්බද්ද ප්‍රදේශයේ පිහිටි නිවසක තිබූ රන් භාණ්ඩ සහ මුදල් මෙසේ සොරකම් කර ඇති බව පොලීසිය කියයි.
පැමිණිලිකාර පොලිස් නිලධාරියා සහ ඔහුගේ බිරිඳ වන පොලිස් නිලධාරිනිය රාජකාරි කරමින් සිටින අවස්ථාවේදී, ඊයේ (14දා) අසල නිවසක පදිංචිව සිටින කාන්තාවක් විසින්, නිවස සොරුන් බිඳ දමා ඇති බවට සිදු කළ දැනුම් දීමකට අනුව පැමිණ පරීක්ෂාකර බැලීමේදී නිවසේ තිබූ රත්‍රං හා මුදල් නොමැති බව අනාවරණය වී ඇතැයි පොලීසිය සඳහන් කළේය.
නිවසේ අල්මාරියේ දමා තිබූ රන් අත් පළඳනා දෙකක්, පෙන්ඩන් දෙකක් , තැල්ලක්, මුදල් රුපියල් දස දහසක් සොරුන් විසින් රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කැකිරාව පොලීසිය වැඩි දුර විමර්ශන සිදු කරනු ලබයි.