සහල් මිල පාලනය කිරීමට රජය වහා මැදිහත් නොවුනොත් එළඹෙන උත්සව සමයේ කීරි සම්මා කිලෝවක් රුපියල් 300 කට ටද, නාඩු කිලෝවක් රුපියල් 270 කට සහ සම්බා කිලෝවක් රුපියල් 290 ක් දක්වා මිල ඉහළ යෑම වළකාලිය නොහැකි බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා සඳහන් කළේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පනවන ලද ගැසට් වහාම ඉවත් කර, වෙළඳපොලේ ඉල්ලුම සහ සැපයුම අනුව සහල් මිල තීරණය කිරීමට ඉඩ හරින ලෙසද පෙරේරා මහතා කීවේය.
පොළොන්නරුව ඕනෑගම ප්‍රදේශයේදී 01 වෙනිදා සවස පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මුදිත් පෙරේරා මහතා ඒ බව සඳහන් කළේය.
රටේ මහා පරිමාණ ව්‍යාපාරිකයින් මේ මොහොත වනවිට ගොවියාගෙන් රුපියල් අසූවට, සීයකට පමණ මීට පෙර කන්නවලදී ලබාගත් වී වී කිලෝව සහල් බවට පත්කරමින් එළැඹෙන උත්සව සමයේ පාරිභෝගිකයාට විශාල ලාභයක් ලබමින් වැඩි මිලට
අලෙවි කිරීමට සූදානම්ව පවතින බවත්, එම තත්ත්වය පාලනය කිරීමට රජය වහා පියවර ගත යුතු බවද මුදිත් පෙරේරා මහතා සඳහන් කළේය.
මේ වනවිට වෙළඳපොළේ විශාල වශයෙන් නාඩු සහල් හිඟයක් පවතින අතර ,නාඩු සහල් වෙළඳසැල්වල නැති තරමට පත්ව ඇති බවත්, මෙම තත්ත්වය පාලනය කිරීමට කළ යුත්තේ පිටරටින් සහල් ආනයනය කිරීම නොව, රටේ මහා පරිමාණ වීමෝල් හිමිකරුවන් සතුව තිබෙන වී තොග පිළිබඳ තක්සේරුවක් කර විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර කඩිනමින් සහල් බවට පත්කර සුළු ලාභයක් ලබමින් උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට පහල් අඩු මිලට නිකුත් කිරීමේ වටපිටාව සැකසීමට රජය වහා පියවර ගත යුතු බවද පෙරේරා මහතා කීය.
මිල පාලනය කිරීමට රජය පිටරටින් සහල් ගෙන්වීම විසඳුමක් නොවන බවත්, වී ගොවියාත් සහල් පාරිභෝගිකයත් රැකගැනීමට නම් සහල් මිල පාලනයකින් තොරව ඉල්ලුමට හා සැපයීමට ඉඩකඩ ලබාදීම ප්රමුඛ කාර්යයක් බවත්, ඒ සඳහා ජනාධිපතිවරයාගේ මෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අවධානය යොමුකර රටේ වී ගොවියත් සහල් පාරිභෝගිකයත් රැකගැනීමට කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස මුදිත් පෙරේරා මහතා ඉල්ලීමක් කළේය.
මනම්පිටිය නිමල් ජයරත්න