මේ වන විට පවතින උණුසුම් කාලගුණික තත්ත්වය එළඹෙන මැයි මස මැද දක්වා අඩු වැඩි වශයෙන් පවතින බවත් ඒ අනුව කුඩා ළමුන් සහ ගර්භිනී මව්වරුන් විජලනය ඇතුළු ආසාදිත තත්ත්ව වළක්වා ගැනීම සඳහා වැඩි දියර ප්‍රමාණයක් දෛනිකව පරිභෝජනය කළ යුතු බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් අද (18දා) පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවේදී අවධාරණය කෙරිණ.
ඒ අනුව එහිදී වැඩිදුරටත් සඳහන් වූයේ පවතින උණුසුම් කාලගුණික තත්ත්වය වාර්ෂිකව මෙම කාලයෙහි දක්නට ලැබෙන්නක් වන නමුත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය පවතින උෂ්ණත්වයට වඩා අංශක කිහිපයකින් වැඩිවන බවය.
ඒ අනුව සෞඛ්‍ය පිළිබඳ අවධානය යොමු කිරීමේදී එම උෂ්ණත්වය දැඩි අවධානයට ලක් කළ යුතු මට්ටමක පවතින බවත්, සංකූලතා සුළු ප්‍රමාණයෙන් ආරම්භ වී දරුණු තත්ත්වයට පත්විය හැකි බවත් මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වත්මන් සභාපති , විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා සහ හිටපු සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම යන මහත්වරු පෙන්වා දුන්හ.
ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ ශරීරය විජලනය වීම හේතුවෙන් මළ බද්ධය, මුත්‍රා ආසාදන,මස් පිඩු වේදනා, ආඝාත තත්ත්වය මෙන්ම උෂ්ණත්වයට නිරාවරණය වීම හේතුවෙන් සමෙහි ඇතිවන දද සහ කුෂ්ඨ යනාදී තත්ත්ව ඇතිවිය හැකි අතර ඇතැම් විට සිහි නැතිවීම දක්වා තත්ත්වය උත්සන්න විය හැකි බවය.
එය අනුව කුඩා දරුවන්, ගර්භිනී මාතාවන් මෙන්ම පිළිකා ප්‍රතිකාර ලබා ගන්නා අය සහ වැඩිහිටි පුද්ගලයන් මෙහිදී අවදානමට ලක්වන කණ්ඩායම් ලෙස විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දුන්හ.ඔවුන් වැඩි දුරටත් උපදෙස් ලබා දුන්නේ අධික විඩාවක් ඇති වුවහොත් විවේක ගන්නා ලෙසත් එම තත්ත්වය දිනකට වැඩි කාලයක් පැවතුණහොත් කඩිනමින් ගිලන් රථ සේවය ලබාගනිමින් ළඟම පිහිටි රෝහල් ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසත් ය.
එසේම පාසල් ක්‍රීඩා කටයුතුවල නිරත දරුවන්ට වෙනදාට වඩා වැඩි දියර ප්‍රමාණයක් පරිභෝජනයට ලබාදෙන ලෙසද විශේෂඥ වෛද්‍යවරු දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටියහ.මෙම මාධ්‍ය හමුවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ (පුරෝකථන) මෙරිල් මෙන්ඩිස් මහතා ද එක්ව සිටි අතර ඔහු වැඩිදුරටත් මෙසේ සඳහන් කළේය.
"මෙය රටේ පිහිටීම මත පදනම් වූ උණුසුම් කාලගුණික තත්ත්වයක් සහ වාර්ෂිකව ඇතිවෙන තත්ත්වයක්. ලැබෙන සූර්ය විකිරණ ප්‍රමාණය, සුළඟේ වේගය සහ වායුගෝලයේ පවතින ජල වාෂ්ප ප්‍රමාණය මීට හේතු වෙනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මනින්නේ වායුගෝලීය උෂ්ණත්වයයි. නමුත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය එම පවතින උෂ්ණත්වයට වඩා අංශක කිහිපයකින් වැඩියි. එළඹෙන 27 වැනිදායින් පසු දින කිහිපයක වැසි තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි. එවිට මෙම පවතින තත්ත්වය යම්තාක් දුරකට අඩුවිය හැකියි. නමුත් අනතුරුව මැයි මැද දක්වා අඩු වැඩි වශයෙන්, දිවා සහ රාත්‍රී කාලයේදී මෙම පවතින උෂ්ණාධික තත්ත්වය පවතිනු ඇති" .