මේ වනවිට ජලය සිඳී යමින් පවතින උඩවලවේ ජලාශයේ රොන්මඩ ඉවත් කිරීමට වැය වන මුදල සහ පාරිසරික ගැටලු පිළිබඳ අවධානය යොමු කරමින් දින 03ක් තුළදී ක්ෂේත්‍ර අධ්‍යයන වාර්තාවක් ලබාගැනීමට නියමිතය.
ඒ අනුව ඒ සඳහා නිලධාරී කණ්ඩායමක් කඩිනමින් යොමු කිරීමට වනජීවී හා වන සංරක්ෂණ ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, වාරිමාර්ග හා මහවැලි සංවර්ධන අමාත්‍ය රොෂාන් රණසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබේ.
කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන පරිදි වසර 55කින්, එනම් වැව සාදන දින සිට මේ දක්වා කිසිදු අවස්ථාවක රොන්මඩ ඉවත් කිරීමක් සිදුකර නොමැති අතර, එසේම මින් පෙර කිසිදු අවස්ථාවක මෙලෙස වැව සිඳී ගොස් නොමැති වීමත් ඒ අනුව මෙම අවස්ථාව රොන්මඩ ඉවත් කිරීමට යෝග්‍යතම අවස්ථාව වන බවට ගොවීන් යෝජනා කර ඇති බවත් සඳහන් වේ.
අමාත්‍යාංශ වාර්තා සඳහන් කරන පරිදි උඩවලවේ ජලාශයේ ජල ධාරිතාව කියුබික් මීටර් මිලියන 265කි. උඩවලවේ ඉංජිනේරු කාර්යාලය විසින් සිදුකර තිබෙන ගණිතමය අධ්‍යයනයන් අනුව මෙහි ඇති රොන්මඩ ප්‍රමාණය කියුබික් මීටර් මිලියන 1.5ක් පමණ වන අතර, එහි සමස්ත ට්‍රැක්ටර් කියුබ් ප්‍රමාණය පන්ලක්ෂ පන්දහස් නවසියයකි. එම ප්‍රමාණය ඉවත් කිරීම මගින් වැඩි වන ජල ධාරිතාව අක්කර අඩි 1,273ක් හෙවත් කියුබික් මීටර් මිලියන දශම 05කි. වැවෙහි විශාලත්වය සමග ඉන් අමතරව වැපිරිය හැකි කුඹුරු ප්‍රමාණය අක්කර 300ක් පමණ වන බවද වැඩිදුරටත් සඳහන්ය.