වර්ෂාවත් සමඟ පස්කඳු, ගල්පර්වත සහ ගස්කොළන් උඩරට දුම්රිය මාර්ගයට කඩා වැටී තිබීම නිසා කොළඹ කොටුව බදුල්ල අතර උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයේ වෙනස්කම් කීපයක් සිදු කරන බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය අද (28දා) පැවසීය .
උඩරට දුම්රිය මාර්ගයේ හාලිඇළ, දෙමෝදර අතර උඩුවර 7කණුව ප්රදේශයේ දී දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති විශාල පස්කන්ද මෙතෙක් ඉවත් කර නොමැති නිසා බදුල්ල දෙමෝදර අතර දුම්රිය ධාවනය මුළුමනින්ම ඇණ හිට ඇත.
කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1005 දරන පොඩිමැණිකේ සහ අංක 1015 දරන උඩරට මැණිකේ දුම්රිය කොළඹ කොටුව සිට නානුඔය දක්වාත්, මහනුවර සිට බදුල්ල බලා ධාවනය වන අංක 1126 දරන භාණ්ඩ ප්රවාහන මිශ්ර දුම්රිය මහනුවර සිට නානුඔය දක්වාත්, බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ අංක 1016 දරන උඩරට මැණිකේ දුම්රිය නානුඔය සිට කොළඹ කොටුව දක්වාත්,අංක 1006 දරන පොඩිමැණිකේ දුම්රිය නානුඔය සිට කොළඹ කොටුව දක්වාත් අංක 1596 දරන භාණ්ඩ ප්රවාහන මිශ්ර දුම්රිය නානුඔය සිට මහනුවර දක්වාත් , කොළඹ කොටුව සිට ධාවනය වන අංක 1041 දරන ඇල්ල ඔඩිසි දුම්රිය ඇල්ල දුම්රිය ස්ථානය දක්වාත් ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය .
මේ අතර බදුල්ල කොළඹ කොටුව අතර රාත්රී තැපැල් දුම්රිය තව දුරටත් ධාවනය නොවන බව ද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙක් කීය .කෙසේ වෙතත් වර්ෂාවත් සමඟ උඩරට දුම්රිය මාර්ගයට කඩා වැටී තිබූ පස්කඳු, ගල්පර්වත හා ගස්කොළන් රැසක් අද (27දා) පස්වරුව වන විට ඉවත් කර කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ධාවනය කිරිමේ අවස්ථාව සලසා ඇතැයි දුම්රිය බලධාරීහු පවසති.
දෙමෝදර හාළිඇල දුම්රිය ස්ථාන අතර උඩුවර ප්රදේශයේ දී දුම්රිය මාර්ගයට නිවසක් සමග කඩා වැටී ඇති විශාල පස්කන්ද දැනට පවතින වර්ෂාවත් සමඟ ඉවත් කිරිමට අපහසු වී ඇති බවත්, බැකෝ යන්ත්ර යොදා ගනිමින් දුම්රිය මාර්ගයට කඩා වැටී ඇති විශාල පස්කඳු ඉවත් කිරිමේ කටයුතු මේ වනවිටත් සිදුකෙරෙමින් පවතින බවත්, බොහෝ දුරට අද (28දා) වන විට උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය යථා තත්වයට පත් කිරිමට හැකි වන බවට විශ්වාස කරන බවත් දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේය .
ඇල්ල ප්රසාද් රුක්මල්