ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් තානාපති කාර්යාලය අවධානයෙන් පසුවන බවත්, ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සියලු ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර ඉරානය විසින් පසුගියදා (13දා) රාත්‍රියේ ෂෙල් සහ මිසයිල ප්‍රහාර 500කට වඩා වැඩි ප්‍රමාණයක් ඊශ්‍රායලය වෙත එල්ලකර තිබුණ ද මේ දක්වා තුවාලකරුවන් ලෙස එක් කුඩා දියණියක් පමණක් වාර්තා වී ඇති බවද ඒ මහතා පවසයි.
එම ප්‍රහාර සියල්ල ගුවනේදීම විනාශ කිරීමට Iron Dome පද්ධතිය සමත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබු බව ද ඔහු සඳහන් කරයි.
පවතින තත්ත්වය හමුවේ ජෝර්දානය, ලෙබනනය, ඉරාකය ඊශ්‍රායලය ආදී රටවල් වෙත ගමන් ගන්නා ගුවන් ගමන් එම කලාපය මගහැර නැවත වෙනත් ගුවන් මාර්ග ඔස්සේ යුරෝපයේ බොහෝ රටවල් වෙත ගමන් කිරීම හේතුවෙන් එම ගමන් සඳහා ගතවන කාලය සහ ප්‍රවේශ පත්‍ර ගාස්තුව ද ඉහළ ගොස් ඇති බව ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ හේතුවෙන් මැදපෙරදිග කලාපයේ සහ යුරෝපීය රටවල් වෙත ගමන් කිරීමට ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාගෙන ඇති පිරිස එම ප්‍රවේශ පත්‍ර පිළිබඳව නැවත අවධානය යොමුකරන ලෙසට ද නිමල් බණ්ඩාර මහතා ඉල්ලා සිටියි.
උද්ගතව ඇති මෙම තත්ත්වයත් සමග ඊශ්‍රායලය වෙත පැමිණෙන සහ ඊශ්‍රායලයෙන් පිටවන ගුවන් යානාවල ප්‍රමාදයන් වාර්තාවිය හැකි බවද නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්ර කරමින් ඉරානය පසුගියදා (13දා) රාත්රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණි.
මෙම ප්‍රහාර මාලාව හමුවේ එරට සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කර ඇත.
එමගින් ඔහු ශ්‍රී ලාංකිකයින් පිරිසක් සමග ඩුබායි සිට ටෙල් අවීව් දක්වා පියාසර කරන ලද ගුවන් යානය සම්බන්ධයෙන්සදහන් කරන තානාපතිවරයා පැවසුවේ, ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් FZ-1625 දරණ ගුවන් යානය 13වැනිදා රාත්‍රියේ 20.10ට පමණ ටෙල් අවීව් දක්වා ගමන් කරමින් සිටියදී මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී තිබුණු බවයි.
ඒ සමගම වහාම ක්‍රියාත්මක වී එම යානය නැවත හරවා ඩුබායි දක්වා පියාසර කරවීමට පියවර ගෙන ඇති බවද නිමල් බණ්ඩාර මහතා සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
මේ අනුව එම යානයේ සිටි ඊශ්‍රායලය බලා පැමිණීමට සිටි ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට කටයුතු කරමින් සිටින බවද නිමල් බණ්ඩාර මහතා පවසයි.
මේ අතර අප්‍රේල් මස 13 වනදා ශ්‍රී ලාංකිකයින් දෙදහසකගේ පමණ සහභාගීත්වයෙන් ජෙරුසලම් ශන්කර් ක්‍රීඩාංගණයේ උත්සවයක් පවත්වා ඇති බවත් ඉන් අනතුරුව ඔවුන් සිය වාසස්ථාන කරා ගොස් ඇති බවත් ශ්‍රී ලංකා තානාපතිවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වාදෙයි.