තම ස්වාමිපුරුෂයාගෙන් හිස් වූ දේශපාලන නායකත්වය භාරගන්නැයි පුත්තලමේ ජනතාව මෙන්ම පක්ෂයෙන්ද ඉල්ලීමක් කරන්නේ නම් ඉදිරියේදී ඇතැම් විට තමා ඒ පිළිබඳව සලකා බැලීමට ඉඩ තිබෙන බව අභාවප්‍රාප්ත රාජ්‍ය අමාත්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ බිරිඳ වන චමරි ප්‍රියංකා පෙරේරා මහත්මිය සඳහන් කළාය.
අධිවේගයේ පසුගිය දා සිදුවු රිය අනතුරෙන් මරණයට පත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් අනුරාධ ජයකොඩි මහතාගේ නිවසට පැමිණ, එම පවුලේ ඥාතීන්ට ශෝකය පළ කළ අවස්ථාවේ දී මාධ්‍යවේදීන් හමුවේ ඇය මේ බව පැවැසුවාය. ඇය වෘත්තියෙන් නීතිඥවරියකි.
"මගේ ස්වාමියාගේ මරණයේ උණුසුම යන්නත් ප්‍රථමයෙන් ඇතැම් මාධ්‍ය පළ කරලා තියෙනවා, මම දේශපාලනයට එනවා කියලා. ඒ කිසිම කෙනෙක් මගෙන් අහලා නෙවෙයි එහෙම ප්රවෘත්ති පළ කරලා තියෙන්නේ. මම කිසිම මාධ්‍යයකට මේ දක්වා ප්‍රකාශයක් කරලා නෑ මම දේශපාලනයට එනවා කියලා.
මම මහත්තයාගේ දේශපාලන කටයුතුවලින් හරි අඬක් පමණ මෙහෙයවූවත් ඔහුගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළත් කිසි දවසක දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තිබුණේ නෑ. දැනටත් එහෙම බලාපොරොත්තුවක් නෑ. නමුත් එතුමාගෙන් හිස් වූ තැන ගන්න කියලා, ඒ ජනතා මෙහෙවර ඉදිරියටම කරගෙන යන්න කියලා පුත්තලමේ ජනතාව, රටේ ජනතාව වගේම පක්ෂ නායකත්වය මගෙන් ඉල්ලීමක් කරනවා නම් ඇතැම් විට මට ඒ ගැන හිතලා බලන්න වෙනවා.
මම දේශපාලනයට ආවත් මගේ මහත්මයා කළ දේශපාලනය කවදාවත් මට කරන්න වෙන්නේ නෑ. ඇතැම් අය විවේචනය කළත් එයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දේශපාලඥයෙක්. දවසේ වැඩි කාලයක් ජනතාව වෙනුවෙන් කැපවෙලා වැඩ කරපු කෙනෙක්. මම පුත්තලම් දිස්ත්‍රික්කයේ කාන්තා සංවිධාන 500කට අධික ප්‍රමාණයකට නායකත්වය ලබා දෙනවා. කාන්තාවන්ගේ දුක මම දන්නවා."