ඉන්ධන සැපැයීම සීමා කිරිමට සිදු වෙන බවත් රටේ අපනයන ආදායම හා විදේශ ප්‍රේෂණ වලට සරිලන පරිදි ඉන්ධන ගෙන්වා ගැනීමේ ක්‍රමයක් ආරම්භ කරන බවත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරමින් තම ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ඔහු මේ බව පැවැසීය.
“මේ වන විට විදුලි කප්පාදුව පැය තුනකට අඩු කර තිබෙනවා. ගෑස් හිඟය නිම වෙමින් පවතිනවා. පොහොර ගෙනවමින් පවතිනවා. ආහාර හිඟයක් ඇති නොවීම සඳහා ආරක්ෂිත පියවර ගෙන තිබෙනවා.
රෝහල්වලට අත්‍යාවශ්‍ය බෙහෙත් හා උපකරණ ගෙන්විමට කටයුතු කර තිබෙනවා. පාසල් යළි ආරම්භ කර තිබෙනවා.
කර්මාන්ත හා අපනයන අංශයට එල්ල වි ඇති බාධා ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. යළි නැගී සිටීමේදී ඉන්දියාව ලබාදුන් සහාය මතක් කරන්න කැමැතියි.
ඉන්දීය රජය අපට ලබා දුන්නේ ජීවන හුස්මක්. මම මෝදි අගමැතිතුමාට, ඉන්දීය රජයට, ඉන්දීය ජනතාවට ස්තූතිය ප්‍රකාශ කරනවා.
ඉන්ධන ගෙන්වා ගැනීම වෙනුවෙන් වෙනත් රටවලින් ණය ආධාර ලබා දෙන තෙක් බලා සිටින යුගය අවසන් කළ යුතුයි.
ඒ නිසා අපේ රටේ අපනයන ආදායම හා විදේශ ප්‍රේෂණ වලට සරිලන පරිදි ඉන්ධන ගෙන්වා ගැනීමේ ක්‍රමයක් ආරම්භ කරනවා.
ඉන්ධන සඳහා ගෙවීම සමබර කර ගැනීම වෙනුවෙන් තෝරා ගත් ආනයන සීමා කිරීමට අපට සිදුවෙනවා. ඉන්ධන සැපයීම සීමා කරන්න වෙනවා. මේ අර්බුදය අවසන් වන තෙක් මේ අමාරුකම් රට වෙනුවෙන් දරා ගනිමු.”