ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟය උග්‍ර අතට හැරී තිබේ. මේ අනුව ඉන්ධන රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති දිනයක් පවා පැවැසීමට නොහැකි තත්ත්වයකට විෂයභාර අමාත්‍යවරයාත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් පත්ව තිබේ.
අද පස්වරුවේ විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුමෙන් කළ ප්‍රකාශයෙන් මේ බව පැහැදිලි වෙයි.
අමාත්‍යවරයාගේ ට්විටර් ප්‍රකාශය පහත පරිදි වෙයි.
" පෙට්‍රල්, ඩීසල් සහ බොරතෙල් රැලෙ මේ සතිය මුලදී සහ ලබන සතියේ පැමිණෙන බව තහවුරු කළ නැව් බැංකු සහ සැපයුම් ගැටලු හේතුවෙන් නියමිත වේලාවට ගෙන්වීමට නොහැකි බව ඔවුන් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුවත් කර ඇතැයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මට දැනුම් දුන්නා. මේ බව දන්වා සිටීම ගැන කනගාටුවෙනවා.
මීළඟ නැව්ගත කිරීම් වරායේ සිට ගොඩබෑම දක්වා වූ කාලය තුළදී සීමිත ඉන්ධන ප්‍රමාණය පොදු ප්‍රවාහනය, විදුලිබල උත්පාදනය සහ කර්මාන්ත සඳහා ප්රමුඛත්වයෙන් ලබා දෙනු ලැබේ. සීමිත ඩීසල් සහ පෙට්‍රල් තොග ලබන සතිය පුරාවට සීමිත ස්ථාන වෙත බෙදා හරින අතර ඉන්ධන සඳහා පෝලිම්වල සිටීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
මේ අවස්ථාවේදී ඉන්ධන රැගත් නෞකා පැමිණීමේ දිනයන් තහවුරු කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නොහැකි වී ඇත. මීළඟ බොරතෙල් නැව්ගත කිරීම තෙක් පිරිපහදුවේ මෙහෙයුම් තාවකාලිකව වසා දමනු ඇත. අපි සියලුම නව සහ දැනට සිටින සැපයුම්කරුවන් සමඟ වැඩ කරන්නෙමු. ප්‍රමාදය සහ අපහසුතාවයට මම සමාව අයදිමි."