ආර්ථිකය ප්‍රකෘතියට පත්කිරීම දවසින් දෙකක කළ නොහැකි බවත් එය අසිරු කටයුත්තක් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පර්ලිමේන්තුවේදී පැවැසීය. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව පැවැසීය.
“රට නගා සිටුවීමට අලුත් ක්‍රමවේද ඇතිකළ යුතුයි. අපි සාමූහිකව කටයුතු කළ යුතුයි. ජනතාව එහි කොටස්කරුවන් විය යුතුයි. ආර්ථිකය ප්‍රකෘතියට පත්කිරීමට අසීරු කටයුත්තක්. එය දවසකින් දෙකකින් කරන්න බෑ.
එය කරන්න පුළුවන් වෙන්නේ ප්රාතිහාර්ය වලින් නෙවෙයි. සටන් පාඨ වලින් නෙමෙයි. මැජික් වලින් නෙමෙයි. හැගීම් වලින් නෙමෙයි. බුද්ධිමත් සැලසුම් සකස් කිරීමෙන් හා ක්‍රියාත්මක කිරීමෙන්.
මාසයකට අවශ්‍ය ඉන්ධන ගෙන්වීමට අවශ්‍ය ප්‍රමාණය ඩොලර් මිලියන 550ක් පමණ වෙනවා. ලෝක අර්බුද තත්ත්වය නිසා තෙල් මිල ඉහළ යාමේ අවධානමක් ඇති බව අප සිහිතබා ගත යුතුයි.
මේ වසර අවසන් වෙද්දී සියයට 40කින් පමණ තෙල් මිල ඉහළ යනු ඇතැයි මත ප්‍රකාශ වී තිබෙනවා. මේ තත්ත්වය යටතේ ඉන්ධන සඳහා සලාක ක්‍රමයක් ඇති කිරීම අපට බැහැර කරන්න බෑ.
ඉදිරි මාස හය සඳහා ඉන්ධන වෙනුවෙන් ඩොලර් මිලියන 3300ක් සොයාගත යුතුයි. ගෑස් ගෙන්වීමට මසකට ඩොලර් මිලියන 40ක මුදලක් අවශ්‍ය වෙනවා. ඉන්ධන හා ගෑස් සම්බන්ධයෙන් ඉදිරි සති තුන ඉතාම දුෂ්කර කාලසීමක් වෙනවා.
අපි සියලු දෙනාම හැකිතාක් අරපරිස්සමෙන් ඉන්ධන භාවිත කළ යුතු කාලයක්. ගමන් බිමන් හැකි තරම් සීමා කළ යුතු කාලයක්. ඒක නිසා මේ කාලයේදී තමන් ගැන පමණක් සිතා ඉන්ධන හා ගෑස් රැස්කර තබා ගන්න එපා.
එම සති තුනෙන් පසු ඉන්ධන හා ගෑස් බෙදා හැරිමට අප කටයුතු කරනවා. මේ දුෂ්කර සති තුනට අපි ඉවසිලිමත්ව මුහුණ දෙමු. ”