ඉදිරි ජනාධිපතිවරණයෙදි පොහොට්ටුව පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා පවසන්නේ එම අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වුවහොත් තම සහාය ඔහුට පළ කරන බවයි.
එහෙත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිසිවක් ප්‍රකාශකර නොමැති බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.
ඉකුත් වසරේ මැයි මස 9 වැනිදා අරගලකරුවන් විසින් සිය නිවස ගිණි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් සිදුකරනු ලැබු පැමිණිල්ල පිළිබඳ විමර්ශන කටයුතු සොයා බැලීමට හා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද (24) දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අමාත්‍යවරයා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ පැය එකහමාරකට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදෙනු ලැබිණ.
ඉන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් නැඟු ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේද පැවසීය.
ප්රශ්නය- මහින්ද මහත්තය මැයි වෙද්දී අගමැති වෙනව කියල කතාවක් යනව.ඒක ඇත්තද?
පිලිතුර- අපි පාර්ලිමේන්තුවේ ශක්තිමත්ව කටයුතු කරගෙන යනව.මේක දිරව ගන්න බැරි අය එක එක කතා කිනවා.අගමැති වෙන්න බළාපොරොත්තුවක් නෑ කියල මහින්ද මහතා කිව්වා.දැන් කියනව සජිත් අගමැති වෙනව කියල.ඒක ආණ්ඩුව බිඳවන්න කියන කතා.ආණ්ඩු පක්ෂයේ ඉන්න අය ඕකට අහුවෙයි කියල මම හිතන්නේ නෑ.
ප්රශ්නය- මැයි දිනයේ සූදානම කොහොමද?
පිලිතුර- අපි සූදානම්.ඉදිරියේදි ඒ ගැන දැනුවත් කරන්නම්.
ප්රශ්නය- පක්ෂයේ සභාපතිවරයා ලෙස හාමුදුරු නමක් පත්කර ගත්තෙ ඇයි?
පිලිතුර- උන්වහන්සේ මහාචාර්ය හාමුදුරු නමක්.මේක මීට කලින් වෙන්න තිබුණු දෙයක්.අපි අරං තියෙන්නේ අනුන්ගේ පක්ෂයක්. ඉදිරියේදි අපේ පක්ෂයට ගැලපෙන ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනවා.
ප්රශ්නය- ඔබතුමා කළකිරීමෙන්ද ඉන්නෙ?
පිලිතුර- මම පොහොට්ටුව හදන්න මුල්වුණ කෙනෙක්.මම මොකටද පොහොට්ටුව එක්ක කලකිරෙන්නෙ.පොහොට්ටුව ශක්තිමත් කරල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයට අපි ශක්තියක් වෙනවා. පොහොට්ටුව සමඟ එකතු වෙන සුදුසු පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත්කර ඊළඟ ජනාධිපතිවරණයත් අපි දිනනවා.
ප්රශ්නය- ඒ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ ද?
පිලිතුර- වෙන්න පුළුවන්.
ප්රශ්නය- ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහට සහය දෙනවාද?
පිලිතුර- අනිවාර්යයෙන්ම දෙනවා.එතුමා කැමති වෙන්නත් ඕන.එතුමා තවම එහෙම කියල නෑනේ.
ප්රශ්නය- එතුමා ඉදිරිපත් වුවහොත් ඔබ උදව් කරනවද?
පිලිතුර- මගෙන් පුද්ගලිකව ඇහුවොත් එතුමාට උදව් කරනවද කියල. මම කියනව උදව් කරනව කියල.මේ වෙලාවෙ රට ගොඩදාපු නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තය.ඒ නිසා මොන දේශපාලන ප්‍රශ්න තිබුණත් මම උදව් කරනවා.
ප්රශ්නය- ජාතික ආණ්ඩුවක් ගැන කතා බහක් ඇතිවෙලා තිබෙනවා.එමෙ වුණොත් ඔබතුමාලගේ ඇමතිකම් ගැලවෙයි නේද?
පිලිතුර- ජාතික ආණ්ඩුවක් හැදිල රටට හොඳක් වෙනවනම් අපි අයින් වෙලා ඉඩ දෙනවා.