මහා පරිමාණ හෙවත් අක්කර 05කට වැඩි ප්‍රමාණයක වගා කළ ඇඹුල් කෙසෙල් ගොවීන්ගෙන් 42%ක් පමණ ආර්ථික අර්බුදයේ බලපෑම මත සුළු පරිමාණ ගොවීන් බවට පත්ව ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිකටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.
ඒ අනුව ගොවීන් අතර GAP(යහපත් කෘෂිකර්ම භාවිතය) පුළුල් ලෙස භාවිතය දිරිමත් කිරීම, නිෂ්පාදන පිරිවැය අඩු කිරීම සහ ඵලදායිතාව වැඩි කිරීම මගින් ඉහළ යන යෙදවුම් පිරිවැයේ ඍණාත්මක බලපෑම් මැඩලීමට උපකාරී වන බවත්, පලතුරු අගය එකතු කළ නිෂ්පාදන අපනයනය ප්‍රවර්ධනය කළ යුතු බවත් පර්යේෂණ වාර්තාව මගින් නිර්දේශ කර ඇත.
ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ එළවළු සහ පලතුරු නිෂ්පාදනය හා අලෙවිකරණය වෙත සිදුවූ බලපෑම අධ්‍යයනය කිරීම සඳහා මෙම පර්යේෂණය සිදු කර ඇති අතර ශ්‍රී ලංකාව දශක කිහිපයක සිට මුහුණ දෙමින් සිටි මූල්‍ය අර්බුදය, ගැඹුරු ආර්ථික අර්බුදයක් කරා වර්ධනය වීම 2022 වසරේ මුල් කාර්තුව අවසන් වනවිට නිරීක්ෂණය වූ බවට වාර්තාවේ දක්වා ඇත.
ඒ අනුව අධ්‍යයනය සඳහා යොදාගත් සියලු බෝග එනම්, බෝංචි, වම්බටු , ඇඹුල්, කෝලිකුට්ටු කෙසෙල් සහ පැපොල් වගා වපසරිය පහළ යාමක් නිරීක්ෂණය වී තිබේ. මෙහිදී වැඩිම පහළ යාම කෝලිකුට්ටු කෙසෙල් වගාව තුළ නිරීක්ෂණය වී ඇති අතර එය 60෴ක අගයකි. නිෂ්පාදන වියදම තුන් ගුණයකින් පමණ ඉහළ යාම, රෝපණ ද්‍රව්‍ය හිඟය, යෙදවුම්වල තත්ත්වය පහළයාම, ඉල්ලුම පහළ යාම, අලෙවි ප්‍රමාණය පහළ යාම සහ ලාභය පහළ යාම ඊට හේතුවී ඇති බවට වාර්තා වී තිබේ. මීට අමරතව පොහොර භාවිතයේ ප්‍රමාණාත්මක (10%-45%) සහ වාර ගණනෙහි සංඛ්‍යාත්මක පහළ යාමක් සියලු බෝගවල නිරීක්ෂණය වී ඇත.
කෙසේ වුවද ආර්ථික අර්බුදයෙන් අනතුරුවද එළවළු සහ පලතුරු සඳහා ප්‍රධාන අලෙවි දාම නොවෙනස්ව පැවති බවට පර්යේෂණය මගින් අනාවරණය කර තිබේ. එම වාර්තාව මගින් වැඩිදුරටත් නිර්දේශ කර ඇත්තේ ආනයනික බීජ, පොහොර සහ කෘෂි රසායන වෙළෙඳපොළේ මිල හා ගුණාත්මක බව නියාමනය කිරීමට බලධාරීන් කඩිනමින් මැදිහත් විය යුතු බවත්, එසේම නීතිවිරෝධී හෝ අනවසර කෘෂි රසායන වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට වහාම පියවර ගත යුතු බවත්ය.