ඇමරිකානු තනාපති කාර්යාලයට හා එහි නිලධාරීන්ට අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ‘පෝස්ටු‘ පලකළ පුද්ගලයෙකු ලබන 28 වැනිදා දක්වා රක්ෂිතව බන්ධනාගාර ගත කිරීමට නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා සැකකරුගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමටද අද (24) නියෝග කළේය.
ත්‍රස්ත මර්ධන විමර්ශන කොට්ඨාශය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බත්තරමුල්ලේ අමාර් ශාබිර් හුසේන් අම්බාස් නමැත්තා මෙලෙස රක්ෂිත බන්ධනගාර ගත කළේය.
සිද්ධියට අදාළව කරන ලද විමර්ශන වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් ඇමරිකානු තනාපති කාර්යාලයට හා එහි නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට අන්තවාදී ත්‍රස්ත කල්ලියක් විසින් සැලසුම් කරන බවට “වට්ස්ඇප’් පෝස්ටු පලකළ සැකකරු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි ඉල්ලා සිටියහ.
සැකකරුට යම් මානසික ආබාධයක් ඇද්දැයි යන්න සොයා බැලීම සඳහා ඔහු මානසික වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඔහුගේ මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියම කරන්නැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරින් ඉල්ලා සිටියහ.
සැකකරුගේ මානසික වෛද්‍ය වාර්තා කැඳවීමට නියම කරමින් ඔහු ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ මහේස්ත්‍රාත්වරයා විමර්ශන වල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස පොලිසියට නියම කළේය.