නැවත දැනුම්දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ සංචාරක උපදේශනය ඉවත් කරන ලෙස විදේශ අමාත්‍යාංශය මෙරට අමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබේ. මෙම තත්ත්වය හමුවේ පසුගිය ඉරිදා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතාද ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අතර, එහිදී ඔහු සඳහන් කළේ අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇති බවය.
විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් එම ඉල්ලීම සිදුකර ඇත. පසුගිය ඔක්තෝබර් මස 23වැනිදා එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් ආරුගම්බේ ප්‍රදේශය ඇතුළු මෙරට සංචාරක ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළේය. නැවත දැනුම්දෙන තුරු ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස මෙරට සිටින එක්සත් ජනපද පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව සඳහන් කර තිබුණි.
අදාළ නිවේදනයෙන් අනතුරුව තවත් රටවල් කිහිපයක් එම රටවල පුරවැසියන්ට මෙම කලාපවල සංචාරය කිරීමෙන් වළකින ලෙස හා ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටියේය.
එම තත්ත්වය හමුවේ රජය එම ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට පියවර ගත් අතර, බුද්ධි අංශ යොදවා එහි ආරක්ෂක කටයුතු නිරන්තරයෙන් සොයා බැලීමට පියවර ගෙන තිබිණි. ඒ අනුව මේ වන විටත් පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වෙයි.