වගාවන්ට අවශ්‍ය ජලය නිදහස් කර දෙන්නැයි ඉල්ලා ගොවීන් පිරිසක් මාතරට ඒමට ඉඩ ඇතැයි කියා ලැබුණු තොරතුරකට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ මාතර කොටුවේ පිහිටි නිවසට හා ඒ අවට ප්‍රදේශයට ඊයේ (05දා) උදෑසන සිට විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.
විශේෂයෙන්ම අමාත්‍යවරයාගේ නිවස දෙසට ප්‍රවේශ වීමට ඇති සියලුම මාර්ගවල පොලිස් මාර්ග බාධක යොදා තිබෙන අයුරු දැක ගත හැකි විය.
මාතර කොටු පවුර දොර කඩින් ඇතුළු වන සැක කටයුතු පුද්ගලයින් හා කණ්ඩායම් පරික්ෂා කිරීමටද පියවර ගෙන තිබේ.
ඊට අමතරව හම්බන්තොට දෙසින් මාතරට ඇතුළු වීමට ඇති මාතර වැල්ල මඩම හා කොලඹ දෙස සිට මාතරට ඇතුළු වීමට ඇති කඹුරුගමුව ආසන්නයේ ද විශේෂ පොලිස් මාර්ග බාධක දෙකක් යොදවා ඇත.
දිවා රාත්‍රී දෙකෙහිම අඛණ්ඩව එම ආරක්ෂක වැඩ පිළිවෙල ක්‍රියාත්මක කර තිබෙන අතර පොලිස් නිලධාරීන් 25 කට ආසන්න පිරිසක් එම රාජකාරිවල යොදවා තිබෙන බව දැනගන්නට තිබේ. යකඩ මාර්ග බාධක 15 කට වඩා තැන තැන ස්ථාපිතකර ඇත.
අවශ්‍යවුවහොත් යුධ හමුදාව කැඳවීමට පවා සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.
කෙසේ වෙතත් ජලය ඉල්ලා මේ දිනවල නියගය පවතින දිස්ත්‍රික්ක වල ගොවීන් අමාත්‍ය කංචන විජේසේකර මහතාට බැණ වදින අතර එම සියලු තත්වයන් සැලකිල්ලට ගෙන මෙම විශේෂ ආරක්ෂාව ලබා දී ඇත.
උඩවලව ජලාශයට සමනලවැවෙන් ප්‍රමාණවත් පරිදි ජලය නිදහස් කරන්නැයි ඉල්ලා පැවති උද්ඝෝෂණය අතර තුරදීද ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ආවේගයෙන් ප්‍රකාශ කර සිටියේ තම ගොවීන්ට ජලය ලබාගැනීම වෙනුවෙන් දිගටම අරගල කරන බවත් ඒ සදහා අවශ්‍ය වුවහොත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ මාතර නිවස හා කොළඹ නිල නිවස වුවද වට කිරීමට ගොවීන් සූදානමින් සිටින බවයි.
ක්‍රිෂාන් ජීවක ජයරුක්