“ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත” සහ “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත” මැයි 22 පාර්ලිමේන්තුවට – වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ
මෙරට ආර්ථිකයට අතිශය තීරණාත්මක පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැළසුම් කර තිබෙන බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.
ඒ අනුව යළි ආර්ථික බිඳවැටීමක් සිදු නොවීමට අදාළව “ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත” සහ රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ප්රශස්ත ම්ට්මක පවත්වාගෙන යාම වෙනුවෙන් “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත” ඉදිරිපත් කරන බව ඒ මහතා පෙන්වා දුන්නේය.
වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙසේද සඳහන් කළේය,
මෙරට ආර්ථිකයට ඉතා වැදගත් පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැළසුම් කර තිබෙනවා. මින් එක් පනත් කෙටුම්පතක් වන්නේ යළි ආර්ථික කඩා වැටීමක් ඇති නොවීමට අදාළව ඉදිරිපත් කෙරෙන“ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත”(Economic Transformation law)යි. මෙම පනත් පනත් කෙටුම්පත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යෝජනා කරනු ලැබූවක් නොවෙයි. එය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ඉදිරිපත් කෙරෙන පනත් කෙටුම්පතක් බව පැවසිය යුතුයි. පසුගිය සමයේ බිඳ වැටුණු ආර්ථිකය මේ වන විට ස්ථාවරත්වය දක්වා ගෙනවිත් තිබෙනවා. එම තත්ත්වය ඉදිරියට ද රැකගැනීමට අවශ්‍යයි.
ඒ වගේම යළි ආර්ථික අර්බුදයක් ඇති නොවන පරිදි කටයුතු කරමින් රටේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය ඉතාමත් ප්‍රශස්ථ මට්ටමක පවත්වා ගත යුතුව තිබෙනවා. ඊට අදාළ වගවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර රාජ්‍ය මූල්‍ය මනා ලෙස කළමනාකරණය සඳහා “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත” ද ලබන 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඒකාබද්ධ වැඩසටහන තුළ අපට පෙන්වා දුන් කරුණක් වනවා. ඒ වගේම මෙය රටේ ඉදිරි මූල්‍ය කළමනාකරණයේ දී ඉතාමත් වැදගත් වන පනත් කෙටුම්පතක් බව ද පැවසිය යුතුයි.
එමෙන්ම මෙම පනත් කෙටුම්පත් දෙකම මෙරට ආනාගතයට ඉතාම තීරණාත්මක වන බව සඳහන් කළ යුතුයි. මෙම කෙටුම්පත් දෙක තුළ තාක්ෂණික කාරුණු රැසක් ඇතුළත් වනවා. මේ හරහා බලාපොරොත්තු වන්නේ මේ වන විට ක්‍රියාත්මක කර ඇති නව ආර්ථික ගමන් මඟ වෙනස් නොකර ආර්ථිකය පිළිබඳව විශ්වාසය තවදුරටත් තහවුරු වන ආකාරයට කටයුතු කිරීමයි.
මෙහිදී ආර්ථික පරිවර්තනය පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ තව දුරටත් විස්තර කළහොත් එය අප රටේ ආර්ථික වර්ධනය කෙරෙහි ඉතා වැදගත් වනවා. 2023 වසරේ දෙවන සහ තුන්වන කාර්තුවල ආර්ථික සංකෝචනයක් සිදුවුණා. නමුත් හතරවන කාර්තුවේ 4.5%ක ආර්ථික වර්ධන වේගයක් අත්කර ගනු ලැබුවා. ඒ සමඟ මෙරට පහලම මට්ට්ම දක්වා ආර්ථික වාසිය ගලාගෙන යාම ආරම්භ වුණා.
ඒ වගේම මෙරට ආර්ථික තරගකාරීත්වය ප්‍රවර්ධනය කිරීම මෙන්ම ආර්ථිකයට ගෝලීය වශයෙන් පැමිණිය හැකි අභියෝග සඳහා මුහුණ දියහැකි තත්ත්වයට පරිවර්තනය කිරීම, ගෝලීය සහයෝගීතාවය මනාව පවත්වාගෙන යාම සහ වර්ධනය කීරීම අවශ්‍යයි.
එපමණක් නොවෙයි, වෙනස් විය යුතු තැන්වලවදී වෙනස් වීම වැනි කරුණු ද මෙම පනත් කෙටුම්පතින් ආවරණය වනවා.
විශේෂයෙන් ජාත්‍යන්තර වෙළඳාම, වෙළඳ ගිවිසුම් ඇතිකර ගැනීම, දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වෙනස්කම්වලට භාජනය විය යුතු නීති පද්ධතිය මෙම පනත් කෙටුම්පත හරහා ආවරණය වනවා.
තවද ශ්‍රී ලංකාවේ නව ආර්ථික කොම්ෂන් සභාවක් පිහිටුවීම, තරගකාරීත්වය තුළ ආයෝජන ආකර්ශනය කරගන්නා ආකාරය පිළිබඳව අවධානය යොමු කීරීම, ආයෝජකයන්ට වඩා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම, ජාත්‍යන්තර වෙළඳාම පුළුල් කිරීම, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව පිහිටුවීම, අපනයනය සම්බන්ධයෙන්වූ අදාළ ආයතන පිහිටුවීම මෙම පනත් කෙටුම්පත හරහා සිදුවන බව සඳහන් කළ යුතුයි.
විශේෂයෙන්ම ආර්ථික පරිවර්තනය සම්බන්ධයෙන් අප විසින් ගත් තීන්දු පාර්ලිමේන්තුව විසින් පසුගියදා අනුමත කරනු ලැබුවා. 2022 වර්ෂයේ රාජ්‍ය ණය අනුපාතය 128% ක් ලෙස පැවතුණා. එය 2032 වසර වන විට 95% කට වඩා අඩු මට්ටමකට පවත්වාගෙන යාමට අවශ්‍යයි.
ඒ වගේම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 2022 වසර වන විට 34.6 %ක්ව පැවති රාජ්‍ය මූල්‍ය අවශ්‍යතාව 2032 වසර වන විට 13% වඩා අඩු මට්ටමකට පවත්වාගෙන යාම අවශ්‍ය වනවා.
එමෙන්ම ණය සේවාකරණය ද ඉතාමත් වැදගත් වනවා. අප උත්සහ කරන්නේ ණය ගෙවාගත හැකි ණය තිරසර භාවයෙන් යුතු රටක් බවට ශ්‍රී ලංකාව පත් කර ගැනීමටයි. 2022 වර්ෂයේ 9.4% ක්ව පැවති ණය ගෙවීම් අනුපාතය 2027 වසර වන විට 4.5% කට වඩා අඩු කර ගැනීම අවශ්‍ය වනවා.
රට වෙනුවෙන් සපුරාගත යුතු මෙවැනි නිෂ්චිත ඉලක්ක සහ රටේ ආර්ථිකයට එල්ල විය හැකි යම් අභියෝග පිළිබඳ ගන්නා ක්‍රියා මාර්ග පාර්ලිමේන්තුවට නැවත වාර්තා කිරීමට අවශ්‍ය පනත් කෙටුම්පතක් ලෙස මෙය හඳුන්වා දිය හැකි වනවා.
මෙම පනත් හරහා අවසාන වශයෙන් අප බලාපොරොත්තු වන්නේ තිරසර ආර්ථික වර්ධනයක් පවත්වාගෙන යාම, ණය ගෙවීම තිරසර මට්ටමක පවත්වාගෙන යාම, කෘෂි කර්මාන්තය නවීකරණය කිරීම, ආනයනය සහ අපනයනය කළමනාකරණය කිරීම, ගෙවුම් ශේෂය කළමනාකරණය කිරීම හරහා රටේ ආර්ථික දිශානතිය නිවැරදිව මෙහෙය වීම බව සඳහන් කළ යුතුයි.
ඒ වගේම රාජ්‍ය මුල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත හරහා විශාල කථිකාවතක් ගොඩ නැඟුණා. පැවති පනතේ දුර්වලතා හඳුනාගෙන අනාගතයේ අවශ්‍යතා සම්පූර්ණ කල හැකි ගැලපෙන නීති රාමුවක් ඉදිරිපත් කිරීම මෙමඟින් සිදු කෙරෙනවා.