ගෝලීය වශයෙන් මෙන්ම, දේශීය වශයෙන් ආර්ථික ක්ෂේත්රයට කාන්තා සහභාගීත්වය වැඩි කර ගැනීමේ දැඩි අවශ්‍යතාවක් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
ආර්ථිකයට දායක වන පිරිමි පාර්ශ්වයේ ක්‍රියාකාරී ප්‍රතිශතය ගෝලීය වශයෙන් සියයට 72%ක්, දේශීය වශයෙන් සියයට 71%ක් වන බවද පැවසුවාය.
ඊට සාපේක්ෂව සලකා බැලීමේදී ගෝලීය වශයෙන් කාන්තා සහභාගිත්වය ප්‍රතිශතය ලෙස සියයට 47ක් වන බවත්, දේශීය වශයෙන් කාන්තා ප්‍රතිශතය සියයට 32%ක් බවද පැවසුවාය.
කාන්තාවන්ට ව්‍යවසායිකාවන් ලෙස නැගී සිටින්න බාධාවක් වන මූල්‍ය තත්ත්වය, වෙළඳ පොළ, ශ්‍රම පුහුණු සහ තාක්ෂණික වශයෙන් පවතින ව්‍යුහාත්මක අවහිරතා ඉවත් කිරීම ඉතාම වැදගත් වන බවද ඇය සඳහන් කළාය.
පොදු ප්‍රවාහනය තුළත්, සේවා ස්ථාන තුළත් පවතින අනාරක්ෂිත බව නිසා පමණක් නොව සමාජ සංස්කෘතික සම්මතයන් මගින් බිහිකරගත් ගෘහස්ථ වගකීම් සමූහයක් කාන්තාව මත පැටවීම හේතුවෙන් මෙරට කාන්තාවන්ට අමතර අභියෝගවලට මුහුණ දීමට සිදු වී තිබෙන බවද පැවසුවාය.
නායකත්වය, ක්‍රියාකාරීත්වය සහ දත්ත පදනම් කරගත් ප්රවේශයන් තුළින් ව්‍යවසායිකාවන් සඳහා ආර්ථික සංවර්ධනයට දායක වීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ගෝලීයව ක්‍රියාත්මක වන කාන්තා ව්‍යවසායකයන්ගේ මූල්‍ය ඉලක්කය (We Final Goal) පිළිබඳවද අග්‍රාමත්‍යතුමිය මෙහිදී සඳහන් කළාය.
ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහයෝගය ඇතිව මෙය ක්‍රියාවට නංවන පළමු රටවල් 24 අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් වන අතර, 2024 අගෝස්තු මාසයේදී කාන්තාවන් විසින් මෙහෙයවන ව්‍යාපාර සඳහා ජාතික අර්ථකථන දැක්වීම සාර්ථක ලෙස සකස් කිරීමට හැකි වූ බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය.
එමගින් දත්ත රැස් කිරීම සහ වාර්තා කිරීම වැඩිදියුණු කර වඩාත් ඵලදායී ප්‍රතිපත්ති සම්පාදනයකට මගපාදන බවත්, COVID-19 වසංගතය සහ ආර්ථික අර්බුදය හමුවේ, මූල්‍ය ආධාර සහ ප්‍රතිපත්ති උපදෙස් ඇතුළුව, ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබාදුන් සහයෝගය අගය කරන බවත් සඳහන් කළාය.
කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීම වෙනුවෙන් සහ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් සහාය දැක්වීමට ජාතික සන්ධානයක් පිහිටුවීමට රජයේ සහාය ලබා දෙන බවද මෙහිදී අවධාරණය කළාය.
මුදල් හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද කාන්තා ව්‍යවසායක මූල්‍ය සංග්‍රහය එළිදැක්වීමේ උත්සවයට සහභාගී වෙමින් පෙරේදා (18දා) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළා ය.