නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඒකමතිකව තේරී පත් විය. ඒ නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති අවස්ථවේදීය.
රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා විසින් රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගේ නම යෝජනා කරන ලද අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා විසින් එම යෝජනාව ස්ථිර කරන ලදී.
පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේදී ද මෙම කාරක සභාවේ සභාපතිත්වය රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විසින් දරනු ලැබීය. ආර්ථීක ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ විෂය පථය, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ විෂය පථය හා සමාන වන බව පෙන්වා දුන් සභාපතිවරයා එම විෂය පථයන් වෙනස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. තවද ආර්ථිකය පිළිබඳ සියලු අංශ ආවරණය වන පරිදි කාරක සභාවේ විෂය පථය පුළුල් කළ යුතු බවද යෝජනා කළේය.
කෙසේ වෙතත් එම විෂයපථයන් වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බැවින් කාරක සභා සාමාජිකයින්ට සහ අදාළ පාර්ශ්ව වලට එහි සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කළ හැකි බව කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව ඉදිරි දිනක මේ සම්බන්ධයෙන් විශේෂ රැස්වීමක් පැවැත්වීමට කාරක සභාව තීරණය කාරක ලදී.