ඇමෙරිකාව ශ්‍රි ලංකාව ඇතුළු රටවල්වලට පැනවූ නව තීරු බදු හේතුවෙන් ශ්‍රී ලංකාව අර්බුදයක් කරා ගමන් කළ හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවැසීය.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ ඇමෙරිකාව ඉහළම බදු ප්‍රතිශතයක් පනවා ඇති රටවල් අතර ශ්‍රී ලංකාව සිටින බවයි.
"ඇමෙරිකා එක්සත් ජනපදය ලෝකයේ විශාලතම වෙළඳ අවාසිය තිබෙන රට. ඔවුන් වාර්ෂිකව ඩොලර් බිලියන 3,200ක් වටිනා භාණ්ඩ අපනයනය කරද්දී ඩොලර් බිලියන 4,100ක් වටිනා භාණ්ඩ ආනයනය කරනවා. මේ නිසා වාර්ෂිකව ඩොලර් බිලියන 900ක අවාසි සහගත වෙළඳ පරතරයකට මුහුණ දෙන්න ඇමෙරිකාවට සිදු වී තිබෙනවා. මේ වෙළඳ පරතරය නිසා එක පැත්තකින් ඇමෙරිකාව දිගින් දිගටම ණය වෙනවා. අනිත් පැත්තෙන් ඇමෙරිකාවේ විරැකියාව ඉහළ යනවා.
මේ අවාසිදායක වෙළඳ පරතරය නැති කරන්න ඇමෙරිකාවේ භාණ්ඩ වලට ඉහළ බදු පනවා තිබෙන රටවලට තමනුත් ඒ ආකාරයේම බදු පනවන බව ට්‍රම්ප් මුලින්ම කිව්වේ තමන්ගේ ජනපතිවරණ වේදිකාවේ. Tit for tat tariff නැතිනම් එකට එක කිරීමේ බදු විධියටයි ජනමාධ්‍ය මේ බදු හැඳින්වූයේ.
තමන්ගේ මැතිවරණ පොරොන්දුව ඉටු කරමින් ඇමෙරිකාව ගනුදෙනු කරන සෑම රටකටම 2025 අප්‍රේල් 2 දා නව ආනයන බදු ප්‍රතිශත ප්‍රසිද්ධ කර තිබෙනවා. මෙහි වැදගත්ම කරුණ වෙන්නේ ලෝකයේ ඉහළම ආනයන බදු වලට ලක් වුණු රටවල් අතර ලංකාවත් සිටීමයි. ලංකාවෙන් ඇමෙරිකාවට යවන භාණ්ඩ මත පනවා ඇති බද්ද 44%ක්. ලංකාවට වඩා වැඩි බද්දක් පනවා තිබෙන්නේ කාම්බෝජය, ලාඕසය, වියට්නාමය, මැඩකස්කරය, ලෙසෝතෝ වැනි රටවල් කිහිපයකට පමණයි.
බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන්නේ ලංකාවට මෙවැනි විශාල බද්දක් පැනවූයේ ඇයි කියලා. සෑම රටකම පොදු බද්ද ගණනය කලේ 2024 ආනයන සහ අපනයන වටිනාකම් අනුව එකම සූත්‍රයකට. අපි ඒ සූත්‍රය දාලා ලංකාවට 44%ක බද්දක් ආවේ කොහොමද කියලා බලමු. ලංකාවෙන් ඇමෙරිකාවට 2024 දී ඩොලර් මිලියන 3,000ක් වටිනා භාණ්ඩ අපනයනය කළත් ඇමෙරිකාවෙන් ආනයනය කර තිබෙන්නේ ඩොලර් මිලියන 368ක් වටිනා භාණ්ඩ විතරයි. ඒ අනුව ඇමෙරිකාවට ලංකාව සමග ඩොලර් මිලියන 2,632ක අවාසිදායක වෙළඳ පරතරයක් තිබෙනවා. සමස්ත අපනයන වලින් ප්‍රතිශතයක් ලෙස වෙළඳ පරතරය බැලුවොත් ඒ කියන්නේ වෙළඳ පරතය වන 2,632 අපනයන වටිනාකම වන 3,000 බෙදලා සීයෙන් වැඩි කලොත් පිලිතුරු 87.87%. ඒ නිසා ඒක 88%ක් ලෙස ගත්තා. දැන් ඒ අගයෙන් 50% තමයි බදු ප්‍රතිශතය වෙන්නේ. 88% කින් 50% කියන්නේ 44%යි. ඒ නිසා ලංකාවේ අපනයන මත ඇමෙරිකාව පනවන බද්ද 44%යි. ලෝකයේ සෑම රටකටම බදු ගණනය කලේ එහෙමයි. ඊට අමතරව ආර්ථිකමය කාරණා අනුව සමහර භාණ්ඩ වලටත් සමහර රටවලටත් මේ සූත්‍රයෙන් පිටත බදු පනවා තිබෙනවා.
ඇමෙරිකාවට කිවිසුමක් ගියාම ලංකාවට නිව්මෝනියාව හැදෙනවා කියා ප්‍රකට කියමනක් තිබෙනවා. මේ බදු ලෝකයේ බොහෝ රටවලට වඩා භයානක විධියට ලංකාවට බලපානවා. ඒකට හේතු වෙන්නේ ලංකාවේ අපනයන වලින් 25%ක්ම යවන්නේ ඇමෙරිකාවට වීමයි. නිදසුනක් ලෙස ඉන්දියාවේ ඒ අගය 10%යි. බංගලිදේශයේ 15%යි. ඒ නිසා අන් රටවලට වඩා ලංකාවේ දැවැන්ත ආර්ථික අර්බූදයක් ඇති වීමට නියමිතයි. මේ පිළිබඳ කඩිනම් පියවර නොගත්තොත් ආර්ථික වර්ධනය සෘණ වී ආර්ථික අවපාතයක් ඇති වීමේ අවදානමක් තිබෙනවා.
ලංකාව ඇමෙරිකාවට යවන ප්‍රධානම භාණ්ඩ වෙන්නේ ඇඟළුම්, තේ, පොල් සහ කුරුඳු. නව බද්ද නිසා ලංකාවේ මේ භාණ්ඩවල ඇමෙරිකාවේ වෙළඳපොලේ මිල 44%කින් ඉහළ යනවා. මේ භාණ්ඩ වලට වෙනත් රටවලින් එවන ආදේශක භාණ්ඩ තිබෙනවා. ඒ රටවලට 44%කින් බදු අය කර නැති නිසා ඒ රටවලින් එවන භාණ්ඩ සාපේක්ෂව ලාභයි. එතකොට අපේ ඇඟලුම්, තේ සහ පොල් වැනි භාණ්ඩ මිල දී ගැනීමට පුරුදු වී සිටි ඇමෙරිකානුවෝ වෙනත් රටවලින් එවන ඒ භාණ්ඩ මිල දී ගැනීමට පෙළඹෙනවා. මේ තත්වය යටතේ ලංකාවේ ඇඟළුම්හල් හිමියන් ඒ කර්මාන්ත බදු අඩු රටවලට ගෙන යෑමට ඉඩ තිබෙනවා. එවිට එක පැත්තකින් අපේ අපනයන ආදායම අඩු වෙලා ඩොලර් අර්බූදය තවත් උග්‍ර වෙනවා. අනිත් පැත්තෙන් දස දහස් ගණනකට රැකියා අහිමි වෙලා විරැකියාව ඉහළ යනවා. ලංකාවේ සමස්ත ඇඟළුම් අපනයන වලින් 42%ක්ම යවන්නේ ඇමෙරිකාවට. ඒ නිසා මෙම බදු වලින් ඇඟළුම් කර්මාන්තයට විනාශකාරි බලපෑමක් එල්ල වන බව අවිවාදිත කාරණයක්.
ඇඟළුම් කර්මාන්තකරුවන්ට නම් තමන්ගේ කර්මාන්ත ශාලා වෙනත් රටකට ගෙනි යන්න පුළුවන්. නමුත් තේ සහ පොල් වැනි කර්මාන්ත මොකද කරන්නේ? ඒ ගස් ගලවලා ගිහින් වෙනත් රටක හිටවන්නද? ඒ නිසා ඉතිහාසයේ නොවූ විරූ දැවැන්ත අර්බූදයකට අපි මුහුණ දෙනවා. සහරාන්ගේ බෝම්බ ප්‍රහාරයට වඩා ට්‍රම්ප්ගේ බදු ප්‍රහාරයේ ප්‍රතිවිපාක බොහොම දරුණුයි කියලා අපි ජාතියට සිහිපත් කරනවා.
ආණ්ඩුවට කෙටිකාලීනව කරන්න පුළුවන් දේ තමයි ඇමෙරිකාවෙන් ආණ්ඩුව විසින් මිල දී ගන්නා භාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරලා වෙළඳ පරතරය පියවන අතරේ බදු ප්‍රතිශතය අඩු කර ගැනීමට සාකච්ඡා ඇරඹීම. ඒ වගේම දිගුකාලීන නව වෙළඳපොලවල් සොයා යන අපනයන වෙළඳපොල විවිධාංගිකරණ වැඩසටහනකුත් නව අපනයන භාණ්ඩ වෙළඳපොලට හඳුන්වා දෙන අපනයන භාණ්ඩ විවිධාංගීකරණ වැඩසටහනකුත් වහාම දියත් කළ යුතුයි.
අවාසිදායක වෙළඳ පරතරයක් තිබෙන රටවලට ඩොනල්ඩ් ට්‍රම්ප් බදු ගහනවා කියන එක කිව්වේ 2024 සැප්තැම්බර් තරම් ඈතක. නමුත් ඒ පිළිබඳ ආණ්ඩුව අවධානය යොමු කර ඒකට කිසිම සූදානම් වීමක් වුණේ නෑ. 2025 ජනවාරි මාසයේ දී බලයට පැමිණි වහාම මෙක්සිකෝවට, කැනඩාවට සහ චීනයට ඇමෙරිකාව බදු පැනෙව්වා. ඒ නිසා ඇමෙරිකානු බදු වලට මුහුණ දීමේ ආණ්ඩුවේ වැඩපිලිවෙල පසුගිය අයවැයෙන් ඉදිරිපත් කරාවි කියලා අපි බලාපොරොත්තු වුණා. නමුත් ඒ පිළිබඳ ජනාධිපතිතුමාගේ අයවැය කතාවේ එක වචනයක් තිබුණේ නෑ. ඉන්දියාව ඇමෙරිකාවෙන් අවි ආයුධ සහ ස්වභාවික ගෑස් මිල දී ගෙන වෙළඳ පරතරය අඩු කර ගන්න සාකච්ඡා කරන අතරේ චීනය නව වෙළඳපොලවල් සොයා යෑම ඇරඹුවා. අපේ ආණ්ඩුව විපක්ෂයට බැන බැන කාලය නාස්ති කලා.
විපක්ෂයේ සිටින කාලයේ ජනාධිපතිතුමා හෙම්බිරිස්සාවක් හැදුනාමත් අඬාගෙන යන්නේ ජුලී චංග් නැන්දා ලඟට. මීට වඩා ලොකු ආර්ථික අර්බූදයක් අපට ඇති වෙන්නේ නෑ. ලංකාවේ ආර්ථිකය අවපාතයකට තල්ලු වෙන වලක්වා ගන්න නම් ජුලී නැන්දා ඉදිරියේ හඬා වැටිලා හරි මේ බදු අඩු කර ගැනීම ජනපතිගේ වගකීමක්. නමුත් දැන්වත් අපි ඉන්දියාව ආදර්ශයට අරගෙන ඇමෙරිකාව සමග අපේ වෙළඳ පරතරය අඩු කරගෙන බදු අඩු කර ගැනීමට සාකච්ඡා ආරම්භ කිරීමත් චීනය ආදර්ශයට අරගෙන නව වෙළඳපොලවල් සොයා යෑමත් නව භාණ්ඩ අපනයන වෙළඳපොලට හඳුන්වා දීමත් කළ යුතුයි."