අතිශය අවදානම් හා අභියෝගාත්මක තත්ත්වය යටතේ කටයුතු කරන වෛද්‍යවරු ,හෙද කාර්ය මණ්ඩලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කණිෂ්ඨ කාර්ය මණ්ඩල ඇතුලු සෞඛ්‍ය සේවාවන්හි නියුතු අය සඳහා මුඛ ආවරණවල සිට පෞද්ගලික ආරක්ෂිත උපකරණ දක්වා වන ආරක්ෂිත උපකරණවල බරපතල හිඟයක් පවතින බව වාර්තා වී ඇති බවත්, සෞඛ්‍ය අංශයේ සහ වසංගත රෝග තත්ත්වය මැඩලීමට කටයුතු කරන සියලු දෙනාගේ ජීවිත ආරක්ෂාකර ලීම සඳහා ඒ ඒ අංශවලට අදාල සෞඛ්‍ය ආරක්ෂණ උපකරණ ලබා දිමට කටයුතු කරන මෙන් අදාල බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික ජනබලවේගය පවසයි.
කොවිඩ් 19 වසංගත තත්වය ආරම්භ වී මාසයකට අධික කාලයක් ගතවී ඇති හා රෝගය මර්ධනය කිරීම සඳහා අති විශාල මුදලක් වෙන්කොට ඇතැයි පැවසෙන, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 128.4ක් මේ වෙනුවෙන් ලබාදී තිබෙන මොහොතක සෞඛ්‍ය ක්ෂේත්රයට ප්‍රමාණවත් ආරක්ෂිත උපකරණ ලබා දීමට අපොහොසත් වීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බව ද ජාතික ජනබලවේගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සමාජ සම්ප්‍රේෂණය මගින් වෛරසය ආසාදනය වීමේ තත්ත්වය වෙත ලඟා වීම වැලක්වීම සඳහා රෝගීන් හා වෛරස් වාහකයින් හඳුනා ගැනීම වේගවත් කළ යුතු බවත්, ඒ සඳහා දැනටමත් විවිධ විශේෂඥයන් විසින් පෙන්වා දී ඇති පරිදි රෝගය බෝවී ඇති අය හඳුනා ගැනීමේ පරීක්ෂාවන් උපරිම මට්ටමින් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ජාතික ජනබලවේගය ඉල්ලා සිටියි.
ඔසුසැල් විවෘත කිරීමේ වැඩපිළිවෙළ හා නිවාසවලට ඖෂධ බෙදාහැරීමේ වැඩපිළිවෙළ තවමත් ක්‍රමවත් හා කාර්යක්ෂම නොවන බව වාර්තා වී ඇත. එමෙන්ම බොහෝ ඔසුසැල්වල බහුලව භාවිතා වන ඖෂධ වර්ගවල හිඟයක් පවතින බවටද තොරතුරු වාර්තා වන බැවින්, අත්‍යවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දීම කඩිනම් අවශ්‍යතාවයක් ලෙස සලකා පියවර ගන්නා ලෙස ද ඉල්ලා සිටියි.
ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ සපයා දීමේ යාන්ත්‍රණය කාර්යක්ෂම කිරීම පිළිබඳවත්, අඩු ආදායම්ලාභීන්ට ලබා දෙන රුපියල් 5000ක දීමනාව දේශපාලනයෙන් තොරව සිදු කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයා, ග්‍රාම නිලධාරීවරයා, සමෘද්ධි නියාමක හා ගොවි නියාමක, පවුල් සෞඛ්‍ය සේවිකාව, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇතුලු නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් විනිවිද භාවයකින් යුතුව සිදු කළ යුතු බවත් ප්‍රකාශ කර සිටියි.
ජාතික ජනබලවේගය මෙම වසංගත රෝගය පැතිරයාම පාලනය කිරීම සඳහා මෙන්ම එයින් පීඬාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලියේ පවතින අඩුපාඩු පෙන්වා දෙමින් රජයෙන් කරනු ලබන ඉල්ලීම් 8කින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.