ආණ්ඩුවක් කරන ආකාරය පිළිබඳ පලපුරුද්දක් ඇති ප්‍රබල කණ්ඩායම ගෑස් සිලින්ඩරය යටතේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් තරග කරන බවත් යම්,කිසි අවස්ථාවක ආර්ථිකයට බලපෑමක් ඇති වුවහොත් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා පලපුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවත් එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
කොළඹ මල් පාරේ පිහිටි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණු දේශපාලන කාර්යාලයේ අද (28දා) පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා මෙසේද කීය.
“ගෑස් සිලින්ඩර පක්ෂයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබෙන්නේ ආණ්ඩු කර අත්දැකීම් තිබෙන කණ්ඩායමක්. මේ අවස්ථාවේ පළපුරුද්දක් නැති අත්දැකීම් නැති කණ්ඩායමක් ආණ්ඩුවක් හදනවා නම් එයින් ඉදිරියේදී රටට යම් අස්ථාවර බවක් ඇතිවෙන්න පුළුවන්.මහ මැතිවරණයේදී ජනතාව ටිකක් හොඳින් කල්පනා කොට ආර්ථිකය පිළිබඳ දැනීමක් පළපුරුද්දක් තිබෙන කණ්ඩායමක් මහ මැතිවරණයේදී තෝරා පත් කර ගනු ඇතැයි කල්පනා කරනවා.
පසුගිය මහ මැතිවරණයේදී අපේ කණ්ඩායම උත්සාහ කළේ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමටයි.අපේ ඉලක්කය තිබුණේ මේ රටේ ආර්ථිකය හැදීමයි.වසර දෙකහමාරකට තුනකට පෙර බංකොලොත් වී තිබූ රට එතුමාගේ උත්සාහය නිසා යම් යහපත් තැනකට ගෙනාවා.ජනපතිවරණයේදී රටේ ජනතාවගේ අවශ්‍යතාව වූයේ වෙන දෙයක්.සාම්ප්‍රදායික දේශපාලනය අනවශ්‍ය බවත් යම්කිසි වෙනසක් කළ යුතු බවත් ජනපතිවරණයේදී ජනතාව විශ්වාස කළා. සුළුතර ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන වත්මන් ජනපති බලයට පත්වී තිබෙනවා.
රනිල්ට සහ සජිත්ට ලැබුණු ඡන්ද ප්‍රමාණය එකතු කර ගත් විට අනුර ජනපතිට ලැබුණු ඡන්ද ප්‍රමාණයට වඩා වැඩියි.
ඇත්තෙන්ම අනුර කුමාර ජනපති විවේචනය කරන්න අපට දැන් කිසිම අවශ්‍යතාවක් නැහැ.එතුමාගේ වැඩ පිළිවෙළ ඉදිරියට ගෙනයාම සඳහා යම්කිසි කාලයක් දිය යුතුයි.නමුත් එතුමාගේ යම් තීරණවල අපැහැදිලිතාවක් තිබෙනවා නම් ඒ තීරණ නිසා මේ රටේ ආර්ථිකයට බලපෑමක් සිදුවෙනවා නම් ඒ ගැන අපට හඬක් නගන්නට සිදුවෙනවා.
කෙසේ වුවත් එතුමාගේ වැඩ කටයුතු සාර්ථකව ඉදිරියට ගෙනයන්නට ලැබේවායි අප සුබ ප්‍රාර්ථනා කරනවා.පසුගිය දිනවල එතුමා කළ ඇතැම් ප්‍රකාශ පිළිබඳව අපට සෑහීමකට පත් වන්නට බෑ.මහා මැතිවරණයේදී තනි පක්ෂ පාලනයක් සුදුසු බව ජනපති ප්‍රකාශ කර තිබුණා.ඒ නිසා එතුමාගේ පක්ෂයට තුනෙන් දෙකක බලය ලබාදීම සඳහා සියලු දෙනා එම පක්ෂයට ඡන්දය දෙන ලෙස ප්‍රකාශ කර තිබුණා.
මෙවැනි ප්‍රකාශ රටේ ප්රජාතන්ත්රවාදයට විශාල බලපෑමක් බව කිව යුතුයි.නි පක්ෂ පාලනයකට යාමට අප කිසිවකුත් බලාපොරොත්තු වන්නේ නැහැ.ලංකාව කියුබාව වැනි රටක් බවට පත්වීමට ඉඩ දෙන්න බැහැ.ජනතාවට සැබෑ ආරක්ෂාවක් ලැබෙන්නේ ප්රජාතන්ත්රවාදයෙන් පමණයි.පාලකයන් වැරදි තීන්දු ගන්නවා නම් ඊට විරුද්ධව හඬක් නැගිය යුතුව තිබෙනවා.එමෙන්ම ආර්ථිකය පිළිබඳ වැරදි තීන්දු ගන්නවා නම් එය පෙන්වා දෙන්නට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි.පාර්ලිමේන්තුවේ යම් සමබරතාවක් ඇතිවන්නේ එවිටයි.
රටට ආණ්ඩුවක් වගේම ප්‍රබල විපක්ෂයක් අවශ්‍ය වෙනවා.ජනපතිවරණයේදී මාලිමාවට ඡන්දය දුන් අවස්ථාවේ බුද්ධිමත්ව කල්පනා කොට ශක්තිමත් විපක්ෂයක් හැදීම සඳහා කණ්ඩායමක් පාර්ලිමේන්තුවට යවාවි.
මේ වෙලාවේ අප යථාර්ථයට මුහුණ දිය යුතුයි.සාමාන්‍යයෙන් ලංකා ඉතිහාසයේ ජනපතිවරණයක් ජයගත් පක්ෂය මහ මැතිවරණයද ජය ගන්නවා.ඒ නිසා ආණ්ඩු හදනවා කියා පම්පෝරි ගැසිය යුතු නැහැ.අප මෙවර පාර්ලිමේන්තුවේ ප්‍රබල විපක්ෂයක් හදා ජනතාව ආරක්ෂා කරනවා.
එමෙන්ම රටේ තිබෙන ඇතැම් තත්ත්වයන් පිළිබඳවත් ජනතාවට කලකිරීම් ඇති වී තිබෙනවා.පාරිභෝගික භාණ්ඩ කිහිපයකට ළඟදී බදු පනවා තිබෙන අයුරු අප දුටුවා.අනුර පැමිණ බදු ඉවත් කරනු ඇතැයි ඡන්දදායකයන් බොහෝ දෙනෙක් විශ්වාස කළා.බදු ගසා රටේ ජනතාව හෙම්බත් කළැයි මේ අය රනිල් වික්‍රමසිංහ ජනපතිට චෝදනා කළා.නමුත් ආර්ථිකයක් ගොඩ නැගෙන්න නම් රාජ්‍ය ආදායම වැඩි කර ගත යුතුයි.කිසිදු ආදායමක් නොමැති වූ නිසා මේ රට බංකොලොත් භාවයට පත්වූ බව අප අමතක නොකළ යුතුයි.
අපේ ණය නැවත ගෙවන්න නම් රජයට හරි ආදායමක් අවශ්‍යයි.මූල්‍ය අරමුදල සමග වැඩ කරන විට ඔවුන්ගේ කොන්දේසි අනුව කටයුතු කළ යුතුව තිබෙනවා.මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වීම හැර අපට වෙන විකල්පයක් තිබුණේ නැහැ.ඒ වෙලාවේ රටේ සම්පත් විකුණනවා අනවශ්‍ය විදිහට බදු දානවා කියමින් කෑ ගැහුවා.එසේ කෑ ගසා දැන් බලයට පැමිණි විට රටක් පාලනය කිරීම කොතරම් අමාරුදැයි ජනපතිට සහ ඔහුගේ කණ්ඩායමට තේරෙනවා ඇති.විපක්ෂයේ සිට චෝදනා එල්ල කරන්නත් විවේචන කරන්නත් හරි පහසුයි.
විපක්ෂයේ ඉන්නකොට තිබෙන්නේ පාර්ලිමේන්තුවට ගිහින් කෑගහන්න පමණයි.නමුත් පාලන බලය ගත්විට රටේ ජනතාවගේ අනාගතය තිබෙන්නේ පාලකයා ගන්නා තීන්දු තීරණ මතයි.රට වෙනුවෙන් අසීරු තීන්දු තීරණ ගතයුතු අවස්ථා එළඹෙනවා”.