මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ ආගමික සිද්ධස්ථාන සඳහා ලබා දීමට ආනයනය කරන ලද වාහන 158ක බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා) අනාවරණය විය.
මෙම සිද්ධියට අදාළ නිලධාරියා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඇති අතර, පසුව ඔහු කරුණු තහවුරු කර ගැනීම සඳහා සාක්ෂි සහ තොරතුරු නොමැති වීම යන කරුණ මත නිදොස් කොට නිදහස් කර තිබෙන බවද මෙහිදී අනාවරණය විය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කෝපා කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී මේ පිළිබඳව අනාවරණය විය.
කෝපා කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් - විගණන නිරීක්ෂන තියෙන්නේ මේ විදියට. ආගමික ස්ථාන සඳහා ලබා දුන් බලපත්‍ර මත ආනයනය කරන ලද වාහන 158ක බලපත්‍රලාභීන්ගේ නම හෝ බලපත්‍රයට අදාළ පැවරුම් කොන්දේසි හෝ වෙනස් කරමින් ලියාපදිංචි කර තිබීම හා වාහන 120ක නිෂ්පාදිත වර්ෂයද වෙනස් කර ලියාපදිංචි කර තිබුණි. මේ විගණන නිරීක්ෂණයට අදාළව ගෙන ඇති ක්‍රියාමාර්ග විදියට සහ වර්තමාන ප්‍රගතිය ඔබතුමන්ලා දැනුම්දීම් කර තිබෙනවා.
විහාරස්ථාන කාර්ය සාධක සමිතිය වෙනුවට වෙනත් පුද්ගලයෙකු නමින් ලියාපදිංචි කළ අවස්ථා හා කොන්දේසි ඉවත් කර වාහන ලියාපදිංචි කළ අවස්ථා පිළිබඳ මූලික විමර්ශනයක් සිදුකර තිබෙනවා. මූලික විමර්ශනය සඳහා ලියාපදිංචි මුල් ලිපිගොනු සොයාගත නොහැකි වී තිබෙනවා. නිලධාරීන් 27කගෙන් ලබා ගත් ප්‍රකාශ පදනම් කරගෙන මූලික පරීක්ෂන වාර්තාව ඉදිරිපත් කර තිබෙනවා. ඒ කාරණයට අදාළව පැහැදිලි කිරීමක් ඔබතුමන්ලාගේ පැත්තෙන් කළා නම්.
මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ – මේ නිලධාරීන්ට අදාළව අවශ්‍ය විනය පරීක්ෂණයක් පවත්වලා තියෙනවා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හා අපේ අමාත්‍යාංශයෙන්. 2014.09.03 ලිපිය මගින් ඉදිරිපත් කරලා අදාළ නිලධාරියාට විරුද්ධව චෝදනා පත්‍රයක් දීලා ඒ චෝදනා පත්‍රය විමර්ශනය කරලා ඒකේ විනය ක්‍රියාමාර්ග අවසන් කරලා තියෙනවා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය. ඊෂ්වර් ලිංගම් කියන දෙපාර්තමේන්තු ලිපිකරු විදිමත් විනය පරීක්ෂණය අවසානයේ නැවත සේවට පත්කරලා තියෙනවා.
කෝපා කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් - පළමු චූදිතයාට අදාළව ඉදිරිපත් කළ චෝදනා පත්‍රය මොකක්ද? ගත්ත විනය ක්‍රියාමාර්ගය මොකක්ද?
මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ – ඒක කරලා තියෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැත්තෙන්. ඒ ගත්ත ක්‍රියාමාර්ගය තියෙන්නේ ඒ පුද්ගලයාව නිදොස් කොට නිදහස් කරලා තියෙනවා. කරුණු තහවුරු කරගන්න සාක්ෂි සහ තොරතුරු නෑ කියන එක මත.
විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න – ඔය කියන චෝදනාවෙන් සම්පූර්ණයෙන් නිදොස් කොට නිදහස් කරන්න හේතුව විදියට ප්‍රධාන ලෙස බලපාලා තියෙන්නේ තොරතුරු නෑ කියන එක නේද?
මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ – ඔව්.
විගණකාදීපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න – ගොඩක් තොරුතුරුවලදී ඉදිරිපත් කරන මූලිකම කාරණාව තමයි ලිපිගොනු අස්ථානගත වීම කියන එක. මේක තමයි හැමදාම කියන කාරණාව. ඒත් ලිපිගොනු අස්ථාන ගත වුණා කියලා අපිට මේක මෙතනින් නවත්වන්න පුළුවන්ද? ලිපිගොනු අස්ථානගත වුණා නම් අස්ථානගත කරන්න පදනම් වුණු නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරන්න ඕනි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ – මේ කියන කාරණා 2012-2013 වර්ෂවල කාරණා. ඒ කාලයේ හිටපු නිලධාරීන් සම්බන්ධයෙන් මම මේ සියලුම තොරතුරු අරන් තියෙනවා දැන්. අතීතයේ කරපු දේ සම්බන්ධයෙන් මට පැහැදිලි කිරීම් කරන්න සමහර කාරණාවලට අදාළ තොරතුරු මගේ ළඟ නෑ. වර්තමානයේ අදාළ වාහන ටික හඳුනාගෙන, ඒවාට අදාළව යූසර් ලොගින් තියෙන්නේ කවුද කියලා තොරතුරු අරගෙන, මම ඒක සමරි කරලා දැන් මේ වන විට නිලධාරීන් 99 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා. ඒ නිලධාරීන් 99 දෙනාගෙන් දෙපාර්තමේන්තුවට සම්බන්ධ අය කවුද, දැනට ස්ථාන මාරුවීම් ගිහින් ඉන්නේ කවුද කියන එක විස්තරයක් අරන් ලෑස්ති කරලා තියෙනවා. මේ කියන දේවල් සෑහීමකට පත්වෙන ආකාරයෙන් කරාද නැද්ද කියන එක සම්බන්ධයෙන් මට පැහැදිලි කිරීමක් කරන්න අපහසුයි.
කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි - මේකේ මූලිකම කාරණය මූලික විමර්ශනය සඳහා ලියාපදිංචි මුල් ලිපිගොනු සොයාගත නොහැකි වී ඇත. ඒ අනුව ඕනෑම බරපතළ චෝදනාවකට ලක්වන කෙනෙක් වුණත් නිදහස් වෙන්න පුළුවන් ප්‍රධානම කාරණය තමයි මේ මුල් ලිපිගොනු අස්ථානගත වීම. මේක තමයි පළවෙනි චෝදනාව. අපිට කෝපා එකෙන් විමර්ශනය කරලා වැඩක් නෑ සමහර කාරණා මුල් ලිපිගොනුව නෑ කියලා ඕන කෙනෙක් නිදහස් වෙනවා. වැරදි රාජ්‍ය පූර්වාදර්ශයකුත් ඇති වෙනවා, රාජ්‍ය ආදායම අහිමි වීමකුත් සිදුවෙනවා සහ මේක වැරදි පූර්වාදර්ශයක් වෙනවා රාජ්‍ය සේවයට.
මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ – අනිවාර්යෙන්ම රෙකෝට් රූම් එක භාරව නිලධාරියෙක් ඉඳලා තියෙනවා. මම මේකට සම්බන්ධ සියලුම තොරතුරු සොයාගත්තා. ඉදිරියේදී ඒකට අදාළ විමර්ශනයක් කරන්න අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්.
කමිටු සාමාජික නියෝජ්‍ය අමාත්‍ය නලීන් හේවගේ - අතීතයේ හිටියේ නෑ, මෑත කාලයේ හිටියේ කියනවා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ධුරය ආරම්භ වන්නේ යම් දවසකද එතැන් සිට මෙතැන් දක්වාම ඒ ධුරයේ වාඩි වුණාම වගකියන්න වෙනවා.