කල්පිටිය දූපත් සමූහයට අයත්, සංචාරක සංවර්ධන අධිකාරීයට මුලුමනින්ම පවරා දී ඇති, උච්චිමුණේ දූපතේ ව්යාපාරික වටිනාකමින් යුතු ඉඩම් කිසියම් පිරිසක් විසින් අනවසරයෙන් අල්ලා ගෙන ඇතැ යි, සංචාරක සංවර්ධන අධිකාරියේ පුත්තලම ප්රාදේශීය නිළධාරී මනෝජ් රත්නායක මහතා චෝදනා කරයි. අක්කරයේ පටන් අක්කර විස්ස විසි පහ දක්වා පුලුල් පරාසයකට, මහ පරිමාණ වශයෙන් අතලොස්සක් වූ පිරිසක් මෙසේ ඉඩම් අල්ලා ගෙන ඇතැ යි එම මහතා වැඩි දුරටත් පවසා සිටියි.
උච්චිමුණේ දූපත කල්පිටිය ගොඩ බිම සිට දියඹින් කිලෝ මීටර 13 ක් පමණ දුරින් පිහිටි අක්කර එක්දහස් එක සියයකට ආසන්න ඉඩම් ප්රමාණයකින් යුතු දූපතකි. ධීවර පවුල් තුන්සියයකට ආසන්න පිරිසක් ද වෙසෙති. රජයේ පාසැලක් ළදරු පාසලක් සහ කතෝලික දේවස්ථානයකින් ද සමන්විතය. උච්චිමුණේ දූපත 2012,04.17 දින 4/10/21029-11 දරණ නිදහස් දීමනා පත්රය මගින් සංචාරක සංවර්ධන කටයුතු ප්රවර්ධනය සදහා ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙත පවරා දී ඇත.
"උච්චිමුනේ දූපතේ සුවිශාල නව වේලක්කන්නි දේවස්ථානය ඉදිවීමත් සමග දෙස් විදෙස් සංචාරක ආකර්ශණය දූපතට යොමු වුනා.එම නිසා පාසල සහ දේවස්ථානය අවට ඉඩම් මෙන්ම කළපු තීරය අවට ඉඩම් මහ පරිමාණ වශයෙන් මෙසේ අල්ලා ගෙන තිබෙනවා."
"ඔවුන් කිසිම වගක් විභාගයක් නැතිවම කොන්ක්රිට් කණු හිටවලා වැලි කදු බැකෝ යන්ත්ර මගින් සමතලා කරලා පොල් ගස් පවා හිටවලා."
මෙසේ අනවසරයෙන් ඉඩම් අල්ලා ගත්තේ යැයි කියනු ලබන පුද්ගලයින් අතුරින් පස් දෙනෙකු කල්පිටිය පොලිසිය වෙත කැදවා ඉන් වහාම ඉවත් වෙන ලෙසට දැනුම් දුන්නත් තවමත් එවැන්නක් සිදුව නැතැ යි ඒ මහතා පවසයි.නමුත් අලුතින් ඉඩම් අල්ලා ගැනීමක් වාර්තා නොවන බව යි,ප්රාදේශී නිළධාරී මනෝජ් රත්නායක මහතා පැවසුවේ.
මේ අතර ඉඩම් අල්ලා ගත් බවට චෝදනා ලැබූවන් හා අප කථා බහ කළෙමු.
"අපේ සීයා ආච්චි දෙමව් පියන් පදිංචිව හිටපු ඉඩම් මේ වන කොට පරම්පරා දෙක තුනකට භුක්ති විදින්න වෙලා. තව පැත්තකින් අවුරුදු පතා කළපුවට දූපත හේදිලා යනවා. ඒ නිසා අපේ අලුත් පරම්පරාව ඉන්නේ කොහිද ? විකුණන්න නොවේ.අපිට ජීවත් වෙන්න ඉඩම් ඕනේ."
මේ අතර පුත්තලම දිස්ත්රික් ධීවර සංගමයේ උප සභාපති සහ ඩච්බේ ග්රාමීය ධීවර සංවිධානයේ සභාපති දිනේස් සුරංජන් ප්රනාන්දු මහතා ප්රකාශ කළේ දූපතේ ස්වභාවික වැළි කදු බැකෝ යන්ත්ර දමා සමතලා කිරීම විශාල පරිසර හාණියකට තුඩුදෙන සිදු වීමක් බව ය.
"වැල්ලේ මුල්ලි වගේ විවිධ ශාක වැල් තියෙනවා. අපි නොදන්න ලොකු කාර්ය භාරයක් මෙම ගස් වැල් වලින් පරිසරයට සිදු කරනවා. අනිත් අතට වැළි කදු සමතලා කිරීම නිසා වාරකන් කාලෙට මුහුදු වැලි කෙලින්ම ඇවිත් දූපතේ ගෙවල් වලට වදිනවා.වැලි කදු සමතලා කිරීම නිසා කළපු ඛාදනය,සුනාමී තත්ත්ව වලටත් හේතු වෙන්න පුලුවන්."ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ ය.
කෙසේ වෙතත් නිශ්චිත කාල පරාසයක් තුළ අනවසරයෙන් ඉඩම් අල්ලා ගත් පිරිස් ඉවත් නොවුනහොත් ඉන් ඉදිරියට අධිකරණම ක්රියා මාර්ගයකට අවතීරනය වීමට සිදු වනු ඇතැයි ප්රාදේශීය නිළධාරිවරයා පවසයි. (I J)
කුමාරී කොට්ටහච්චි