මාස් කන්නයේ අස්වැන්න වෙළෙඳ පොළට නිකුත් කිරීමට ආසන්න වෙමින් තිබියදී රජය සතු වී තොගයක් විකුණා දැමීමට සැලසුම් කර තිබෙන බව ගොවි සංවිධාන නියෝජිතයෝ සඳහන් කරති.
මෙම වී තොගය විකුණා දැමීමත් සමග මෙවර කන්නයේ කීරි සම්බා වී අස්වැන්න අඩු මිලට අලෙවි කිරීමට සිදුවිය හැකි බවද එම පිරිස් පෙන්වා දෙති.
පසුගිය දෙසැම්බර් මාසයේදී මෙම වී තොගය සහල් කර වෙළෙඳ පොළට නිකුත් කරනු ලැබුවේ නම් වෙළෙඳ පොළ තුළ ඇති වී තිබෙන කෘත්රිම සහල් හිඟයටත් යම් විසඳුමක් ලැබෙන බවද සඳහන් කරති.
රජය සතුව වී ඇටයක් නොමැති බවට පසුගිය මාසයේදී ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයන් ප්රසිද්ධියේ ප්රකාශ කළ බවත්, එසේ තිබියදී රජය සතු කීරි සම්බා කිලෝ එක් ලක්ෂ දහනවදහස් පන්සියයකට අධික ප්රමාණයක් ප්රසිද්ධියේ විකිණීමට ටෙන්ඩර් කැඳවා තිබෙන බවද පෙන්වා දෙති.
මෙම වී තොගය සහල් බවට පත්කරනු ලැබුවේ නම් සහල් කිලෝ හැත්ත දෙදහසකට ආසන්න ප්රමාණයක් ලබා ගැනීමට හැකියාව තිබූ බවත්, එම සහල් සතොස හරහා සහන මිලට ලබා දීමට හැකියාව තිබූ බවද සඳහන් කරති.
අම්පාර දිස්ත්රික්කයේ රජයේ ගබඩාවක පවතින මෙම වී තොගයට ලංසු ලබා දීම මේ මස 21වන දින අවසන් වන බවත්, මේ අනුව වී තොගය විකුණා දැමීමට සිදුවන්නේ එදිනෙන් පසුව බවත්, එම කාලය වන විට ගොවීන්ගේ වී අස්වැන්න වෙළෙඳ පොළට ලැබීම ආරම්භ වන බවද පෙන්වා දෙති.
දේශපාලනඥයන් විසින් රජය සතුව වී නොමැති බවට සඳහන් කරනු ලැබුවේ, නිලධාරින් ලබාදුන් තොරතුරු මත නම් අදාළ නිලධාරීන් පිළිබඳව කඩිනමින් පරික්ෂණයක් සිදුකරන ලෙසත් ගොවි සංවිධාන නියෝජිතයෝ ඉල්ලා සිටිති.
ගොවීන්ගේ අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙන ආසන්න කාලයකදී රජය සතු වී තොගයක් විකුණා දමන පළමු අවස්ථාව මෙය විය හැකි බවද පෙන්වා දෙති.