ලංකාවේ ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියට කිසිදු බාධා කිරීමක් හෝ මැදිහත්වීමක් කිරීමෙන් ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය වළකාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයන් අද (16) නිකුත් කළේය.
කේබල් කාර් ව්‍යාපෘතියේ වැඩබිම් සේවකයින්ට කිසිදු ආරක්ෂාවක් නැතැයි චෝදනා කරමින් එහි සිටි පුද්ගලයන් කීපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරියගේ මැදිහත්වීම හේතූවෙන් ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට බාධා මතුව ඇතැයි කියමින් ජනාධිපති නීතිඥ අලි සබි්ර මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් අභියාචනාධිකරණය අදාළඅතුරු තහනම් නියෝගයන් නිකුත් කළේය.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ලපාර් තාහිර් සහ පී. කුමාරන්රත්නම් යන මහත්වරුන්ගේ සැදුම්ලත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.
රාජගිරිය ‘ඇම්බර් ඇඩ්වෙන්චර්’ පෞද්ගලික සමාගම ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ගම්පොළ ප්‍රාදේශීය ලේකම් දිල්රුකෂි ජයරත්න මහත්මිය, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සහ ආයෝජන මණ්ඩලය ඇතුළු පිරිසක් කර ඇත.
පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබි්ර මහතා කරුණු දක්විමින් ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් ව්‍යාපෘතිය මෙය බවත් අම්බුලුවාව ප්‍රදේශයේ මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ඉදිකිරීමට සියලු බලධාරීන් අනුමැතිය ලබාදී තිබියදී ව්‍යාපෘතියේ වැඩබිම් සේවකයින්ට කිසිදු ආරක්ෂාවක් නොමැති බවට ගම්පොළ ප්‍රාදේශීය ලේකම්වරිය චෝදනා කරමින් එහි සිටි පුද්ගලයන් කීපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි කීය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් දුන් බවද මෙම ප්‍රදේශය නාගරික සංවර්ධන අධිකාරියට අයත් බැවින් ප්‍රාදේශීය ලේකම්වරියට මීට මැදිහත්වීමට බලයක් නොමැති බවද කී ජනාධිපති නීතිඥවරයා ප්‍රාදේශීය ලේකම්වරියගේ කටයුතු හේතුවෙන් අදාළ ව්‍යාපෘතිය නියමිත කාලයට සම්පූර්ණ කිරීමට බාධා මතුව ඇතැයිද සඳහන් කළේය.
මෙම් තත්වය යටතේ අදාළ ව්‍යාප්තිය සඳහා ගම්පොල ප්‍රාදේශීය ලේකම්වරිය මැදිහත්වීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉල්ලීම පිළිගනිමින් අදාල නියෝගය කළ අභියාචනාධිකරණය පෙත්සම ලබන 29 වැනිදා යළි කැදවීමටද නියම කළේය.
පෙත්සම්කාර සමාගම වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ අලි සබි්ර මහතා පෙනී සිටියේය.
පසුගිය කාලයේදී මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කිරිම හේතුවෙන් අලි සබ්රි මහතා නීතිඥ වෘත්තියෙන් තාවකාලිකව සමුගෙන තිබුණි.