අරුණ පුවත්පතේ නියෝජ්‍ය ප්රවෘත්ති කර්තෘ තිස්ස රවීන්ද්‍ර පෙරේරාට දුරකථනයෙන් එල්ල වී ඇතැයි කියන මරණ තර්ජන සම්බන්ධයෙන් වහාම පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල (9 වැනිදා) පොලිසියට නියෝග කළේය.
තමාට එල්ල වී ඇති තර්ජනයන් පිළිබඳව සඳහන් කරමින් කෝරළේ ආරච්චිගේ තිස්ස රවීන්ද්‍ර පෙරේරා විසින් මෙම මස 7 වැනිදා කුරුඳුවත්ත පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් බණ්ඩාර වෙත කරන ලද පැමිණිල්ලක් පිළිබඳ අධිකරණය වෙත පෙරේදා කරුණු වාර්තා කළ අවස්ථාවේදී අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.
පැමිණිලිකරු ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පුවත්, සංවිධානාත්මක අපරාධ කල්ලි, රාජ්‍ය ආයතන හා අමාත්‍යාංශවල දූෂණ වංචා පිළිබඳ පුවත් පළකරන බවත් පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේය.
මෑත කාලයේ අත්අඩංගුවට ගත් හරක් කටා, ගනේමුල්ලේ සංජීව, දෙමටගොඩ රුවන්, කොස්ගොඩ සුජී, රත්ගම විදුර, කංජිපානි ඉම්රාන්, කුඩු ලාල් ඇතුළු සංවිධානාත්මක අපරාධ කල්ලිවල කුඩු ජාලය සහ අපරාධ රැල්ල පිළිබඳව පැමිණිලිකරු විස්තරාත්මකව ලිපි පළ කළ බවත්, එම අවස්ථාවලදීත් එල්ල වූ තර්ජන පැමිණිලිකරු විසින් ආරක්ෂිත උපාය මාර්ග භාවිත කරමින් මිදුණු බවත්, 2020 වසරේදී හිටපු පොලිස්පතිවරයාගේ නියමයෙන් විදෙස් රටවල සිට එල්ල වූ දුරකථන තර්ජන පිළිබඳව විමර්ශනයක් පැවැත්වූ බවත් පැමිණිලිකරුගේ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
කොළඹ වරායේ ටයිල් ටෙන්ඩරයක් සම්බන්ධයෙන් පැමිණිලිකරු පළකරන ලද පුවත් හේතුවෙන් තමාට දුරකථනයෙන් මරණ තර්ජන එල්ල වූ බවටද පැමිණිලිකරු සඳහන් කර ඇතැයිද කුරුඳුවත්ත පොලිසියේ සැරයන් සමන් රාජපක්ෂ අධිකරණය වෙත දන්වා සිටියේය.
මෙම මස 5 වැනිදා රාත්රියේදී පැමිණිලිකරුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත් පුද්ගලයකු ‘‘තිස්ස මහත්තයාද කතා කරන්නේ? මොකද අපේ ලාල් අයියට ඉන්න දෙන්නේ නැද්ද? ඉඳලා ඇතිවෙලාද?’’ යනුවෙන් ගැඹුරු ස්වරයකින් අමතා ඇතැයිද පොලිසිය දන්වා සිටියේය.
එහිදී පැමිණිලිකරු ‘‘මොන ලාල් අයියා ගැනද?’’ යනුවෙන් අසා තිබෙන බවත්, එහිදී දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා ‘‘ලාල් පීරිස් දන්නවනේ? මොකද ඔයා එයාට විතරක් ගහන්නේ, අනිත් එවුන් ගැන ගහන්න දන්නේ නැද්ද? මොකද ඉඳලා ඇතිවෙලාද?’’ යනුවෙන් තර්ජනාත්මකව පැමිණිලිකරුට බැණ වැදී ඇතැයිද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
එම ඇමතුමට පිළිතුරු වශයෙන් පැමිණිලිකරු කාවවත් ඉලක්ක කර ප්රවෘත්ති පළ නොකරන බවත්, රටේ සිදුවන අසාධාරණ කවුරුන් හෝ වුවත් ඉදිරියේදිත් හෙළිකරන බවත් පවසා ඇති අතර එහිදී ඇමතුම ලබාදුන් පුද්ගලයා නැවතත් ‘‘ඇයි ඉඳලා ඇතිවෙලාද? ලාල් අයියා ගැන ආයේ ලිව්වොත් බලාගත හැකියි’’ යනුවෙන් පැමිණිලිකරුට තර්ජනාත්මකව පවසා ඇතැයිද පොලිසිය දන්වා සිටියේය.
පැමිණිලිකරුගේ ජංගම දුරකථනයට ලැබුණු ඇමතුම් විස්තර පිළිබඳ වාර්තාවක් සහ ඔහුගේ දුරකථනයට මෙම මස 4 වැනිදා සිට 6 වැනිදා දක්වා ඇමතුම් සංඥා ලැබුණු කුලුනු වාර්තාවක් ලබාගැනීමට අවසර දෙන මෙන් කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම දුරකථන ඇමතුම් වාර්තා සහ කුලුනු වාර්තා ගැනීමට අවසර දුන් අතිරේක මහෙස්ත්‍රාත්වරයා මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් පවත්වා අධිකරණයට වාර්තා කරන ලෙස කුරුඳුවත්ත පොලිසියට නියම කළේය.
අරුණ නියෝජ්‍ය ප්රවෘත්ති කර්තෘ තිස්ස රවින්ද පෙරේරා ට තර්ජන එල්ල කරන ලදැයි කියන ව්දේශීය දුරකථනයේ ඇමතුම් විස්තර පරික්ෂා කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ කුරුදුවත්ත පොලිසියට ඔක්තෝබර් 10 දා නියෝග කලේය .
මෙම දුරකථන ඇමතුමට අදාල ව්දේශීය දුරකථනයේ ඇමතුම් විස්තර පරික්ෂා කිරිමට කුරුදුවත්ත පොලිසිය මෙහිදී අවසර ඉල්ලා සිටියේය .
ඒ සදහා අවසර දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කඩිනමින් පවත්වා එහි ප්‍රගතිය අධිකරණය ට වාර්තා කරන ලෙස කුරුදුවත්ත පොලිසියට නියම කළේය .